රට මත්පැන් විස වී අයියා-මලෝ මරුට


(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

විදෙස් රටකින් ගෙනා බව කියන මත්පැන් වර්ගයක් පානය කිරීම හේතුවෙන් අසාත්මිකතාවයකට පත්ව රෝගාතුරවූ පුද්ගලයින් සිව්දෙනෙකු රෝහලට ඇතුලත් කිරීමෙන් පසු එයින් දෙදෙනෙකු මරණයට පත්ව ඇතැයි මීරිගම පොලිසිය කියයි.

මියගොස් ඇත්තේ ගල්නෑව වෙරුම්කුලම, නෑගම්පහ  පදිංචිකරුවෙකු වන කේ.ජී. අනුර කොඩිතුවක්කු (54)  හා  දියපැලියගම  නෑගම්පහ ලිපිනයේ පදිංචි කේ.ජි චිත්‍රානන්ද කොඩිතුවක්කු (47) යන දෙසොහොයුරන් ය.

අඹේපුස්ස මොට්ටෑවවත්ත ප්‍රදේශයේ පැවති සිය මවගේ අවමංගල උත්සවය බාල පුතුගේ නිවසේ තිබී ඇති අතර, ඉන් පසු සත්දින දානයට සහභාගිවීමට පැමිණ සිටියදි මෙය සිදුව ඇත. මත්පැන් වර්ගයක් පානය කිරීම හේතුවෙන් අසාත්මිකතාවයකට පත්ව එම සිව්දෙනාගේ පපුව ප්‍රදේශයේ ඇති වු අසනීප තත්වයක් හේතුවෙන් මිරිගම රෝහලට ඇතුලත් කර තිබිණි. එසේ ප්‍රතිකාර ලබමින් සිටියදි,එක් අයකු ඊයේ (14) රාත්‍රියේදී මීරිගම මූලික රෝහලේදී හා ඔහුගේ සහෝදරයා අද(15) අලුයම වරකාපොල මුලික රෝහලේදී මරණයට පත්ව ඇත.

මත්පැන් සාදයට එක්ව සිටි අනෙක් පුද්ගලයා වන හමුදා සෙබළා ඊයේ (14) නෙරියකුලම 213 බල සේනා මූලසථානයේ රාජකාරි වාර්තා කිරීමට පිටව ගොස් ඇති බවටද පොලිසිය කරුණු අනාවරණය කරගෙන ඇත. ඔහුගේ තත්ත්වය සොයා බැලීමේදී එම සෙබලා හදිසියේ අසනීපව අනුරාධපුර මහ රෝහලට ඇතුලත් කර  ඇතැයි හෙළි වී ඇත. මියගිය අයවලුනගේ මස්සිනා මීරිගම රෝහලේ  තවදුරටත් ප්‍රතිකාර ලබමින් පසුවන බව පොලිසිය කියයි.

මත් පැන් බිව් සිව්දෙනාගෙන් තිදෙනෙකු මස්සිනාවරු බව හෙළි වී ඇත.

අවමගුල් නිවසට යාබද නිවසේ පදිංචි කොළඹ වරායේ සේවය කරන පුද්ගලයකු මෙම මත්පැන් බෝතලය ලබාදී ඇති බවද පොලිස් පරීක්ෂණවලදී හෙලිවී ඇත. එහි වර්ගයක් හෝ නාමයක් දැනගන්නට නැතැයිද පොලිසිය කියයි. එම පුද්ගලයා අද උදෑසන නීතිඥයකු මාර්ගයෙන් මීරිගම පොලිසියට බාරවී ඇත.

මිය ගිය පුද්ගලයන් දෙදෙනාගේ පශ්චාත්  මරණ පරික්ෂණය හා හදිසි මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.