ඉන්දියාවේ හිටපු අගමැතිවරයෙකු වන රජීව් ගාන්ධි ඝාතනයේ ප‍්‍රධාන චූදිතයකුව එරට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳින මුරුගන් නැමැත්තාට වසර ගණනාවකට පසුව ශ්‍රී ලංකාවේ සිට එරටට පැමිණ සිටින ඔහුගේ මව මුණගැසීමට මදුරාසි මහාධිකරණය විසින් අද (18) අවසරය ලබා දී ඇතැයි ප්‍රෙස් ට‍්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත්සේවය වාර්තා කරයි.
ඒ අනුව ලබන 22 වැනිදා සිට 27 වැනිදා තෙක් ඔහු රැඳී සිටින බන්ධනාගාරයේදී සිය මව හමුවීමට මදුරාසි මහාධිකරණයෙන් අවස්ථාව හිමි වී ඇතැයි එම වාර්තා වේ සඳහන් වෙයි.
දැනට වෙල්ලෝර් බන්ධනාගාරයේ සිර දඬුවම් විඳිමන් සිටින මුරුගන් නොහොත් වී. ශ්‍රී හරන් නැමත්තා වසර 26 කට පසුව සිය මව හමුවන ප‍්‍රථම අවස්ථාව මෙය වේ.
තමන්ට ශ්‍රී ලංකාවේ සිටින මව හමුවීමට අවසර දෙන ලෙස ඉල්ලා මුරුගන් නැමැති චුදිතයා එරට නීතිඥවරයකු මාර්ගයෙන් මදුරාසි මහාධිකරණය හමුවේ ඇපෑලක් ගොනු කර තිබූ අතර එය අද(18) සලකා බැලූ අවස්ථාවේදී අධිකරණය මෙම අවසරය ලබා දී තිබේ.
මුරුගන් ගේ මව ඉකුත් අප්‍රේල් 02 වැනිදා ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට ගොස් ඇත්තේ සිරගතව සිටින සිය පුත‍්‍රයා මුණගැසීමටය. නමුත් ඒ සඳහා වෙල්ලෝර් බන්ධනාගාර බලධාරීන්ගේ නිසි අවසරය ලැබී නොමැති අතර පසුව මුරුගන් ඇපෑලක් මඟින් ඉකුත් අප්‍රේල් 11 වැනිදා සිට 18 දක්වා කාලය තුළ දී සිය මව බැහැ දැකීමට අධිකරණයෙන් අවසරය ඉල්ලා ඇත. එම ඇපෑල මීට පෙර කැඳවූ අවස්ථාවේදී ඉන්දීය රජයේ නීතිපතිවරයා ගේ විරෝධතා හේතුවෙන් එම අවසරය ලබා දීම කල් තබන ලදී.
මුරුගන් ගේ එම ඇපෑල අද සලකා බැලූ අවස්තාවේදී මුරුගන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා මදුරාසි මහාධිකරණ විනිසුරුවරයා වෙත දන්වා සිටියේ ලබන 31 වැනිදායින් පසුව සිය මවට ඉන්දියාවේ රැඳී සිටීම සඳහා වලංගු වන වීසා බලපත් කල්ඉකුත් වන බැවින් ඔහුට මව බැහැ දැකීම සඳහා අවසර ලබා දෙන ලෙසටය.
එම ඉල්ලීම සලකා බැලූ මදුරාසි අධිකරණය එරට නීතිපතිගේ විරෝධතාවය ඉවත දමමින් මුරුගන්ට සිට මව බැලීමට අවසරය ලබා දී ඇත.
1991 මැයි 21 වැනිදා එවකට ඉන්දීය අගමැතිවරයාව සිටි රජීව් ගාන්ධි මරාගෙන මැරෙන බෝම්බයකින් ඝාතනය කිරීමේ වරදට මුරුගන් සමඟින් ඔහුගේ බිරිඳ වන නලිනි ඇතුළු හත් දෙනෙකුට එරට අධිකරණයෙන් සිර දඬුවම් නියම විණි.
- 125

