රජිව් ගාන්ධි මැරූ කොටි කතගෙන් පොතක්


කොටි සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකින් ඉන්දියාවේ හිටපු අග‍්‍රාමාත්‍ය රජීව් ගාන්ධි ඝාතනය කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවී ජීවිතාන්තය දක්වා  සිර දඬුවමක් විඳිමින් සිටින නලිනි ශ්‍රීහරන් නමැති කොටි කත සිය ජීවිත කතාව ඇතුළත් ස්වයං චරිතාපදාන ග්‍රන්ථයක් බ‍්‍රහස්පතින්දා (24)චෙන්නායි නුවරදී  එළිදැක්වීමට නියමිතව ඇතැයි ‘‘ටයිම්ස් ඔෆ් ඉන්දියා’’ පුවත්සේවය කියයි.

දෙමළ භාෂාවෙන් ලියැවී ඇති මෙම ග‍්‍රන්ථය පිටු 500 කින් සමන්විතවන අතර මෙම ජීවිත කතාව පොතක් වශයෙන් එළිදැක්වීමට ඇයට වසරකට වැඩි කාලයක් ගතවී ඇතැයිද කියති.

බන්ධනාගාරයේ රැඳවියන් අමුත්තන් හමුවන ස්ථානයේ සිට ඇය කියූ කථාව ඇයගේ නීතීඥවරයා වන පූග සෙන්ති විසින් සටහන් කර ගැනීමෙන් අනතුරුව මෙය ග‍්‍රන්ථයක් වශයෙන් ප‍්‍රකාශයට පත් කැර ඇත.

රජීව් ඝාතන සිද්ධියට අදාළව එරට අධිකරණයෙන් දඬුවම් නියමව වසර 25කට වැඩි කාලයක් ඉන්දියාවේ වෙල්ලෝර් බන්ධනාගාරයේ බන්ධනාගාරගතව සිටියදී ඇය ලත් අමිහිරි අත්දැකීම්, වද හිංසා ,දේශපාලන අතපෙවීම් සහ විවිධ තමිල්නාඩු දේශපාලනඥයින්ගේ ප‍්‍රතිචාර හා බලපෑම් යනාදිය පිළිබඳව මෙම ග‍්‍රන්ථයේ ඇතුළත්ව ඇතැයි කියති.