රජරට උප කුලපති පැය 17ක් හිර අඩස්සියේ


රජරට විශ්ව විද්‍යාලයයේ සිසුහු පිරිසක් එහි උප කුලපති මහාචාර්ය රංජිත් විජයවර්ධන හා විනය පාලකවරුන් දෙදෙනා පැය 17ක් පුරා බලෙන් ඔහුගේ කාර්යාලයයේ සිරකරගෙන සිටිති.

පන්ති තහනමට ලක්වූ සිසුන් 28 දෙනකුගේ තහනම ඉවත් කරන්නැයි පෙර දින පස්වරු 4.30ට උපකුලපති ඇතුළු පිරිස හිරකර ගත් අතර උපකුලපති සැටියක රාත්‍රිය ගත කළ බවත්, කාමරයේ තිබූ චොක්ලට් පෙත්තකින් කුසගිනි නිවා ගත් බවත් කුලපති කියා ඇත.

අද උදේ එහි ගිය මාධ්‍යවේදීන් කෑම ගෙනවිත්දෙන්නදැයි ඇසූ නමුත් කෑම ගැනීමට තරම් සුදුසු වටපිටාවක් නැතැයි කියමින් ඔහු එය කාරුණිකව ප්‍රතික්ෂේප කළේය.

විශ්ව විද්‍යාල ආරක්ෂකයන් ද පොලිසියේ හා කැරලි මර්දන කණ්ඩායම් ද සරසවියට කැඳවා ඇති නමුත් තමන් බේරා ගන්නැයි උපකුලපති ඉල්ලීමක් නොකළ නිසා ඔවුන් අද උදේ 9.30 වන තුරුත් මැදිහත් නොවූ බව පොලිසිය කියයි.

එවැනි ඉල්ලීමක් කළ හොත් අවම බලය යොදා මුදා ගැනීමට සූදානම් බව පොලිසිය පවසයි.

විශ්ව විද්‍යාලය දින නියමයක් නැතිව වසා දමන බවට උප කුලපති සිසු අත්අඩංගුවේ සිටිය දීම නිවේදනයකට අත්සන් කළේය.