රජයේ නළදරු ගැබ් ගැන්වීම සාර්ථකයි


(කවිඳු දිල්ෂාන්)

නළදරු තාක්ෂණය භාවිත කරමින් රාජ්‍ය අංශයේ පළමු සාර්ථක ගැබ් ගැන්වීමේ දරු ප්‍රසූතිය අද (31) උතුරු කොළඹ ශික්ෂණ රෝහලේදී සිදු කෙරිණි.

කැලණිය විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ ප්‍රසව හා නාරිවේද අධ්‍යයනාංශයේ සාඵල්‍යතා මධ්‍යස්ථානය (IVF Centre) විසින් නළදරු තාක්ෂණය භාවිත කරමින් සාර්ථක ගැබ් ගැන්වීමක්, පසුගිය වසරේදී සිදු කෙරුණු අතර මෙම සාර්ථක ගැබ් ගැන්වීමට යොමු වූ මවගේ දරු ප්‍රසූතිය සිසේරියන් සැත්කමක් මගින් ඊයේ රාගම - උතුරු කොළඹ ශික්ෂණ රෝහලේදී සාර්ථක ලෙස සිදු කෙරිණි.
 
එම සැත්කම සිදු කරනු ලැබුවේ කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රසව හා නාරිවේද අධ්‍යයනාංශයේ, ප්‍රසව හා නාරිවේද පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය රසික හේරත් මහතා ප්‍රමුඛ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් විසිනි.

රාජ්‍ය අංශයේ සාඵල්‍යතා මධ්‍යස්ථානයක නළදරු තාක්ෂණය භාවිත කරමින් සිදු කළ ගැබ් ගැන්වීමකින් පසු, රජයේ රෝහලකදී සිදු කරනු ලැබූ පළමු දරු ප්‍රසූතිය මෙය වීම විශේෂත්වයකි.

මෙම දරු ප්‍රසූතියට යොමු වූයේ 31 හැවිරිදි මවක වන අතර ඇයත් දරුවාත් මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවෙයි.

එම නළදරු ගැබ්ගැන්වීම රාජ්‍ය අංශයේ සාඵල්‍යතා මධ්‍යස්ථානයකින් සිදු කළ පළමු සාර්ථක නළදරු ගැබ් ගැන්වීම වීම වන අතර එය සිදු කරනු ලැබුවේ කැලණිය විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ, ප්‍රසව හා නාරිවේද අධ්‍යයනාංශයේ, ප්‍රසව හා නාරිවේද සහ මදසරුභාවය පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුරංග හෙට්ටිපතිරණ මහතා ප්‍රමුඛ වෛද්‍ය කණ්ඩායමක් විසිනි.

වසරක පර්යේෂණ කාර්යයක සාර්ථක ප්‍රතිඵලයක් වූ මෙම නළදරු ගැබ් ගැන්වීම ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ සිදු කරන ලද සුවිශේෂ කර්තව්‍යයකි.