රංජන්ගේ අපහාස නඩුව ජනවාරි 12 කැදවයි


 
 
 
(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

විනිසුරුවරුන් සහ නීතීඥවරුන් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කිරීමෙන් අ ධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ලවී සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව පැවැත්වෙන අධිකරණ අපහාස නඩුව ලබන ජනවාරි 12 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) තීන්දු කළේය.

විජිත් මළල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු සහ එස්. තුරේරාජා යන මහත්ම මහත්මීන්ගේ සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ මෙම නඬුව කැඳවන ලදී.

එහිදී විනිසුරු මඩුල්ලේ සභාපති විජිත් මලල්ගොඩ මහතා සදහන් කළේ නඩු විභාගයේදී මතු වූ ගැටළු නිරාකරණය කර ගැනීමට සහ අපහැදිලි තැන් පැහැදිලි කර ගැනීමට මෙම නඩුව කැඳවූ බවය.

නමුත් එය ඊලග නඩු දිනයේ සිදු කරන බව විනිසුරු මලල්ගොඩ මහතා සදහන් කළේ ය.

ඒ අනුව එම නඩුව ලබන ජනවාරි 12 වැනිදාට කල් තැබිණි.

විත්තිකාර රන්ජන් රාමනායක මහතා උපරිමාධිකරණ සංකීර්ණයට පැමිණි සිටි නමුත් ඉකුත් 15වැනිදා ඇති වූ ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු පැවැත්වීම නිසා ඔහුට අධිකරණ භූමියට හෝ ශාලාව ට ඇතුළු වීමට අවසර නොලැබුණු අතර ඔහුගේ නීතීඥවරුන්ට පමණක් අධිකරණ ශාලාවට පැමිණියේය.

මෙම නඩුව ට අදාළ සාක්ෂි මෙහෙයවීම සහ වාචික දේශන පැවැත්වීම මේවනවිට අවසන් කර ඇති අතර මතු වූ ගැටළු නිරාකරණය කිරීම සිදු කිරීමට නියමිත ය.ඒ සඳහා අවස්ථා කිහිපයකදීම නඩුව කැඳවනු ලැබූවද විවිධ හේතු නිසා එය කල් දැමිණි.

පූජ්‍ය මාගල්කන්දේ සුදන්ත හිමියන් සහ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළ පැමිණිල්ලකට අනුව නීතිපතිවරයා විසින් වගඋත්තරකාර රංජන් රාමනායක හිටපු අමාත්‍යවරයාට එරෙහිව මෙම චෝදනා පත්‍රය ගොනු කෙරිණි.

2017 වසරේ අගෝස්තු මස 21 වන දා කොළඹ, අරලියගහ මන්දිරයේ දී එවක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව ජනමාධ්‍ය වෙත අදහස් දැක්වූ රංජන් රාමනායක මහතා මෙරට නීතිඥවරුන් පිළිබඳව සිදු කළ ප්‍රකාශ තුළින් මෙරට අධිකරණ පද්ධතිය කෙරෙහි මහජනතාව තබා තිබෙන විශ්වාසය පළුදු කිරීමට ක්‍රියාකර ඇති බවත් ඒ තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් පැමිණිල්ලේ සඳහන් කර තිබිණ.

ඒ අනුව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු විභාගයක් පවත්වා සුදුසු දඬුවම් නියම කරන ලෙසද එම පැමිණිල්ල මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.

නීතිපතිවරයා වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ සුහර්ෂි හේරත් මහත්මිය පෙනී සිටියාය.

විත්තිකාර රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ එම්. ඒ.සුමන්තිරන් මහතා පෙනී සිටියේය.