( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
2012 වසරේ දී වැලිකඩ බන්ධනාගාරයේ ආරක්ෂක අංශ විසින් සිදු කළ සෝදිසි මෙහෙයුමකදී රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා මත සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය නියෝග කරන ලදී.
තමන් ඇප මත මුදා හරින්නැයි ඉල්ලා නියෝමාල් රංගජීව මහතා සිය නීතීඥවරුන් මාර්ගයෙන් ගොනු කළ ප‍්‍රතිශේධන පෙත්සමක් සලකා බැලීමෙන් පසුව අභියාචනාධිකරණය මෙම නියෝගය ලබා දී තිබේ.
මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප‍්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් ගෙන් යුතු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.
ඇප ලබා ගැනීමෙන් පසුව සෑම මසකම අවසන් ඉරිදා දින පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට අභියාචනාධිකරණය සැකකාර නියෝමාල් රංගජීව මහතාට නියෝග කළේය.
තවද සැකකරුට විදේශ ගතවීම වළක්වාලමින් අධිකරණය විසින් නියෝගයක්ද නිකුත් කරන ලදී.
මීට අමතරව වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ලමාහේවා මහතා ඇප ඉල්ලා ගොනු කළ ප‍්‍රතිශෝධන පෙත්සම ලබන නොවැම්බර් 9 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය තීන්දු කළේය.
තමන්ට ඇප ඉල්ලා පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා ගොනු කළ ප‍්‍රතිශෝධන පෙත්සමේ මෙසේද සඳහන් විණි.
2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේ ආරක්ෂක අංශ විසින් සිදු කළ සෝදිසි මෙහෙයුමකදී රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා මත ඉකුත් මාර්තු 23 වැනිදා සැකපිට අත්අඩංගුවට ගැනුණු තමන්ට ඇප ඉල්ලා කොළඹ මහාධිකරණය හමුවේ ඇප අයැදුම්පතක් ගොනු කළද එය ප‍්‍රතික්ෂේප කෙරුණි.එය නීතිවිරෝධී යැයි පෙත්සම්කරු කියා සිටී.
එබැවින් මෙලෙස මාස පහකට ආසන්න කාලයක් තිස්සේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තමන්ට ඇප ලබා දෙන්නැයි පෙත්සම්කාර පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා සිය ප‍්‍රතිශෝධන පෙත්සමින් ඉල්ලා තිබිණි.
පෙත්සම්කරු වෙනුවෙන් නීතීඥ අසිත විපුලනායක මහතා සමඟ ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතා පෙනී සිටියේය.