යෝෂිතගේ ඇප ඉල්ලීම කල් යයි : එෆ්සීඅයිඩීයටත් නොතීසී


ඇප ඉල්ලා  ගොනු  කළ ඇප අයදුම්  පෙත්සමේ  වගඋත්තකරුවන් ලෙස නම් කර  සිටින මුල්‍ය  අපරාධ විමර්ශන කොට්ඨාසයේ  භාර  නියෝජ්‍ය  පොලිස්පති එහි  ස්ථානාධිපති  නිතිපති ඇතුළු වගඋත්තරකරුවන්ට  ලබන 29 වැනි දා  අධිකරණය හමුවේ  පෙනි  සිටින්නැයි  කොළඹ මහාධිකරණ විනිසුරු හෙයියන්තුඩුව මහතා  අද (17) නොතිසි  නිකුත් කළේය.

මුදල් විශුද්ධිකරණ පනත යටතේ වරදක් කර ඇතැයි කියන සිද්ධියක් ගැන හිටපු ජනපති පුත්  යෝෂිත රාජපක්ෂ ඇතුළු සිව් දෙනෙකු රිමාන්ඩ් බන්ධනාගාර ගත කරමින් කඩුවෙල මහේස්ත්‍රාත්  දුන් නඩු  තීන්දු  ඇතුළත්  ලඝු  ලේඛන සටහන්  මහාධිකරණයට  කැඳවා  ආරක්ෂිතව තබා ගන්නැයි විනිසුරු හෙයියන්තුඩුව මහතා නියෝග කළේය.

යෝෂිත ඇතුළු  සැකකරුවන්  ප්‍රථම වරට  ජනවාරි 30 වැනි දා  කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ  පෙනී සිටි අවස්ථාවේ  නඩුවේ  සටහන්  ලියා  තිබුණත්  එදින ලඝු ලේඛිකාවන්  නොසිටි බැවින්  ඒ පිළිබඳ පරික්ෂණයක්  පවත්වන ලෙස  පෙත්සම්කාර පර්ශවයේ  නිතිඥවරු අධිකරණයෙන්  ඉල්ලා සිටියහ.

මහේස්ත්‍රාත්වරයකුගේ  ක්‍රියා  කලාපය සම්බන්ධයෙන්  තමාට  පරික්ෂණයක්  කළ නොහැකි  බවත් ඒ පිළිබඳව අධිකරණ සේවා  කොමිසම තීන්දුවක්  ගත යුතු  බවත්  මහාධිකරණ විනිසුරු  කීවේය.