(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ ලිංගික දිශානතිය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා විශාල මුදලක් යූඑස්ඒඩ් කියන සංවිධානය හරහා මෙරට තුළ වියදම් කර ඇතැයි හෙළිවී ඇති බවත් එම මුදල් සැබවින්ම වියදම් කළේ කුමන කාරණයකට ද යන්න සෙවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටයුතු කළ යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා අද (10) පැවසීය.
නීතිඥ සාගර කාරියවසම් මහතා බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේදී ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.
ශ්‍රී ලංකාව වැනි රටවල්වල ජාතිකකත්වය, සංස්කෘතිය, අනන්‍යතාවය විනාශ කරන්න, ආර්ථිකය කඩාවට්ටන්න, රටට ආදරය කරන පාලකයින් පලවා හැරලා විදේශගැති පාලකයින් බිහිකරන්න සමහර අවස්ථාවලදී විදේශ සංවිධාන තුළින් මුදල් පොම්ප කරන බවත් ඒ නිසා මේ ලිංගික දිශානතිය සම්බන්ධයෙන් මෙවැනි විශාල මුදලක් වියදම් කළා කියන කාරණය මේ රටේ සාමාන්‍ය බුද්ධියක් තිබෙන පුද්ගලයෙක්ට සිතන්නවත් බැරි කාරණයක් බවත් ඒ මහතා කීය.
අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා රටට ආදරේ නම්, ඒ වගේම ඔබතුමාට සහ පක්ෂයට මේ මුදල් ලැබි නොමැතිනම් පසුගිය කාලය තුළ මේ විශාල මුදලක් ඇවිත් තිබෙන්නේ කොහෙන්ද? කාගේ ගිණුම්වලටද? කොහොමද වියදම් කළේ කියන කාරණය සම්බන්ධව සොයා බැලිය යුතු බව කී කාරියවසම් මහතා මේ මුදල්වලින් සමහර විට කූඩාරම් ගැසීමට, කෑමවලට හෝ ගෙවල් ගිනිතියන පුද්ගලයින්ට යන විවිධ කාරණාවලට යෙදෙවව්වා විය හැකි බව ද සඳහන් කළේය.
බොරු ජාතිකත්ව කඳවුරු නිර්මාණය කිරීම පිටුපස මේ මුදල් යෙදවා තිබයි හැකි නිසා මෙවැනි විශාල මුදලක් වියදම් වුණේ කොයි ආකාරයට ද යන්න සොයලා ජනතාවට ප්‍රකාශ කළ යුතු බවත් එසේ නැතිව වර්තමාන ආණ්ඩුවේ නොහැකියාව වහගන්න බොරුවට ඔවුන් ගිනි තියපු ගෙවල්වල වන්දි ගෙවපු ආකාරයවත්, මේ රටේ පොල්, වී හිඟයට බොරු හේතු දක්වන්නවත්, රටේ විදුලිය ගියාම බොරුවට වඳුරෝ පැන්නා කියන්නවත් රටේ ජනතාවට ආණ්ඩුවක් අවශ්‍ය නොමැති බවත් ඒ මහතා කීය.