යුරෝපයට නම් නිරූපිකාවන් සම්පතක්


 

නිලූ ඔබ නිරූපිකාවක ලෙස වසර පහළොවක් තිස්සේ ස්ථාවරත්වයක් ඇතිකර ගත්තෙ කොහොමද?
ඒක ඇත්තටම අසීරු ගමනක්. මුලින්ම මම ක්ෂේත‍්‍රයට ආවේ ප‍්‍රවීන රූපලාවන්‍ය ශිල්පී පේ‍්‍රමසිරි හේවාවසම් යටතේ නිරූපණ කටයුතුවලට සහභාගී වෙමිනුයි. ඉන්පසුව ලෝ චිං වොන්ග් යටතේ නිරූපණය කළා. ෆැෂන් ටීවී නාලිකාව වෙනුවෙන් මට අවස්ථාව ලැබුණා. වෘත්තීය තත්ත්වයට පැමිණියේ ඒ සියල්ල සමගයි.

 


ලංකාවේ මෙතරම් දිගු කාලයක් එක දිගට නිරූපිකාවක ලෙස රැඳී සිටින්න හේතුවුණේ?
මගේ සැමියා අර්ජුන සේනානායකත් නිරූපණ ශිල්පියෙක්. එයත් 2002 සිට නිරූපණ ශිල්පියකු ලෙස කටයුතු කළා. එක්තරා අවස්ථාවක තුර්කියේ පැවැති නිරූපණ සංදර්ශනයකදී මම කාන්තා අංශයෙන් සහ එයා පිරිමි අංශයෙන් කිරුළ දිනා ගත්තා. ලංකාවේ දෙන්නකුට එකවර ජයග‍්‍රහණ ලැබුණු පළමු අවස්ථාව එයයි. සැමියා සමග ආ ඒ ගමන දිගටම ස්ථාවර වුණා. ඔහු තමයි මට මේ ගමනේ යෝධ හෙවනැල්ල වුණේ.

 


ඔබ පෙර සඳහන් කළේ අසීරුවෙන් ආ ගමනක් කියායි. ලාංකීය සමාජයේ නිරූපිකාවක් වීම අසීරු ඇයි?
අමාරුයි කියලා කිව්වෙ නිරූපණයේ යෙදීම නෙවෙයි. ක්ෂේත‍්‍රයේ පිළිගැනීම සහ අවබෝධය ඉහළයි. නමුත් බාහිර සමාජය බලන දැක්ම එතරම් සුබවාදී නැහැ. ඒ හැරත් ලංකාවේ වෘත්තීය වටිනාකම අඩු වුනත් පිටරටක නම් නිරූපිකාවකට ලැබෙන්නෙ ඉහළ වටිනාකමක්. විශේෂයෙන් නිරූපිකාවක් යනු යුරෝපීය රටක සම්පතක්.  ඕනෑම ක්ෂේත‍්‍රයක වගේ හොඳ මෙන්ම නරක තියෙන්න පුළුවනි. නමුත් 96 සිට පැමිණි මේ ගමනේ මට හොඳ මිසක්, වටිනාකම වැඩිවීම මිසක්, අනවශ්‍ය දේ ඇතිවුණේ නැහැ. පළපුරුද්ද මත වෘත්තීය ගරුත්වය ඇතිවුණා.

 


නිරූපණ ක්ෂේත‍්‍රයෙ  සිදුවන යහපත ඔබ දකින්නෙ කොහොමද?
විවිධ මෝස්තර නිර්මාණ ශිල්පීන්ගේ මෝස්තර එළිදැක්වීමට දායකවීමට ලැබීම වගේම රටේ විලාසිතා ගැන ලෝකයට කියන්නට අවකාශය ලැබෙනවා. මම ගොඩාක් ප‍්‍රකටව සිටින්නේ කැට් වෝක් නිරූපිකාවක ලෙසයි.

 


”කැට් වෝ්ක්” මොඞ්ල් යන්නෙහි තේරුම?
අපි හිතමු ලොව  ඕනෑම කාන්තා විලාසිතාවක ප‍්‍රමාණය විය යුත්තේ 8-10 කියලා. ඒ අනුව නිරූපිකාව සිරුර ප‍්‍රමාණාත්මකව සහ නම්‍යශීලීව තබාගත යුතුයි. කැට්වෝක් මොඩල් කෙනෙකුට ලොව ඇති ඉල්ලූම ඉහළයි. රිද්මය හරියටම තියෙන්න  ඕනෑ. පිටරටක වුනත්, වැඩි වටිනාකමක් තියෙන්න කැට්වෝක් මොඞ්ල් කෙනෙකුටයි.

 


 ඔබ මවක්, දරු දෙදෙනෙකු සිටින මවක් ලෙස, ඔබ නම්‍යශීලීත්වය සහ සිරුරේ රිද්මය පවත්වාගෙන යන්නෙ කොහොමද?
2002 හොඳම නිරූපිකාව වෙද්දී මගේ කුළුඳුල් දරුවා ඉපදී මාස හයයි. මවක් වෙලත් එහෙම වීම ගැන සමහරු පුදුම වුණා. මේ සියල්ල සාර්ථක කරගන්න සැමියාගෙන් ලද සහයෝගය ඉහළයි. එයා මගේ ආහාර වට්ටෝරුව ගැන පවා සොයා බැලූවා. ඇත්තටම ඒ සියල්ලෙහි රහස තමයි සැමියා.

 


කොහොමද ඔබේ දින චර්යාව?
උදේ 4.45 ට විතර අවදි වෙනවා. ඉන්පස්සෙ දරු දෙදෙනා පාසලට යැවීමට කටයුතු කරනවා. බුදුන් වැඳලා ඊට පස්සෙ උදේ 7 ට විතර මගේ සැලොන් එකේ වැඩ සහ විලාසිතා ආයතනයේ වැඩ කටයුතු පටන් ගන්නවා. මොන දේ කළත්, පළමුව මුල් තැන දෙන්නේ ගෙදර වැඩ කටයුතුවලටයි.

 


මෙම ආසියාතික කිරුළ ලැබීම සහ ඊට සහභාගි වූ හැටි විස්තර කළොත්?
මෙම අවස්ථාව ලැබුණේ R and V ආයතනයේ වාසනා දන්තනාරායන මහත්මිය නිසයි. රටවල් 30 ක තරගකාරියන් මීට ඇතුළත් වුණා. ඉන්දියාව වගේ රටවල් පරාජය කරලා කිරුළ අපේ රටට ගේන්න පුළුවන් වුණා. ඒත් අපට අනුග‍්‍රාහකයෙක් ඉදිරිපත් වුණේ නැහැ. ගුවන් ටිකට්පත පවා ගත්තෙ අපේ වියදමින්. සැමියා ඒ සියල්ල වෙනුවෙන් මාව දිරිගැන්වුවා. දැන් මේ නිසා ලෝකයේ  ඕනෑම තැනක පැවැත්වෙන මෙවැනි තරග සඳහා ඉදිරිපත්වීමේ අවස්ථා ලැබී තිබෙනවා.