යුද හමුදාව කහ වවයි


(එම්. සුසිල් ප්‍රියන්ත)

ශ්‍රී ලංකාවේ දැනට පවතින උග්‍ර කහ හිඟයට විසදුම් සෙවීමේ අරමුණින්  පස් වන පොදු සේවා බලකායේ කරන්දෙණිය කඳවුරේ  අක්කර දෙකහමාරක කහ වගා කර තිබේ.

කොවිඩ් -19 වෛරසය ශ්‍රී ලංකාව ආක්‍රමණය කිරීමත් සමගම බොහෝ දෙනා විෂ බීජ නාශක දියර සාදා ගැනීමට වැඩි වශයෙන් කහ භාවිතා කිරීම නිසාත්, ඒසමගම  කහ ආනයනය තහනම් කිරීමත් නිසාත් ශ්‍රී ලංකාවේ උග්‍ර කහ හිඟයක් ඇතිවිය.

මේ තත්ත්වය යටතේ පවතින කහ හිගය යම්තාක් දුරට මර්ධනය කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාපති ශවේන්ද්‍ර ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි, ශ්‍රී ලංකා යුධ හමුදාවේ කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්ෂක මණ්ඩලයේ අධ්‍යක්ෂක මේජර් ජෙනරාල් ඉන්ද්‍රජිත් කඳනාරච්චි මහතාගේ අධීක්ෂණය යටතේ, ශ්‍රි ලංකා යුද හමුදා පස් වන පොදු සේවා බලකා කරන්දෙණිය කදවුරේ අණදෙන නිලධාරි මේජර් ජයන්ත රාජනායක මහතා විසින් සිය කදවුරේ සෙසු නිලයන්ගේද සහයෝගයෙන් කදවුරු  බිමෙහි අක්කර දෙකහමාරක කහ වගාවක් ආරම්භ කරන ලදි.

කුරුදු බෝගයට ප්‍රමුඛස්ථානයක් දී තිබූ කරන්දෙණියට කහ ආධුනික බෝගයක්ව පැවති බැවින් කහ වගාව සඳහා කරන්දෙණියේ භූමියක් සකසා ගැනීම හමුදා නිලධාරීන්ට දැඩි අභියෝගාත්මක කාර්‍ය්‍යයක් විය.

ශ්‍රි ලංකා යුද හමුදා පස් වැනි පොදු සේවා බලකා කරන්දෙණිය  කදවුරේ නිලධාරීන් වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ හා කෘෂිකර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහත්වරුන්  නිරීක්ෂණය කිරීමට අද (5 ) පැමිණියහ.