යාල සතුන්ට සංචාරක මඟ පෙන්වන්නෝ පිහිට වෙති


(යොහාන් භාසුර)

නියඟය හේතුවෙන් යාල වනෝද්‍යානය තුළ ජලය නොමැතිවීමෙන් වන සතුන් පත්ව ඇති ඛේදනීය තත්වය පිළිබඳව අවදානය යොමුකර සංචාරක මඟ පෙන්වන්නන් පිරිසක් ‘සිනමන් වයිල්ඩ්’ ප්‍රධාන මාර්ග පිවිසුම අසළ කුඩා වැවට ජල පිරවීම ඊයේ (27) ආරම්භ කළහ.

සංචාරක මඟ පෙන්වන්නන් 60 ක පමණ පිරිසක් එකතුව පෞද්ගලික මුදලින් එම වැවට ජල බවුසර් 24 ක් පුරවන බවත් ඉන් පසුව රටේ පුරා සිටින වන සතුන්ට ආදරය කරන පුද්ගලයන් සහ ආයතන ජලය පිරවීම ඉදිරියට ගෙනයනු ඇතැයි බලාපොරොත්තු වන බවත් සංචාරක මඟ පෙන්වන්නෝ පවසති.

ජලය පිරවීමෙන් පසුව අලි ඇතුන් ඇතුළු වන සතුන් රැසක් ජලය පානය කිරීම සඳහා පැමිණි බව ද ඔවුහූ පැවසූහ.

යාල වනෝද්‍යානය තුළ ජලාශවලට ජලය පිරවීමට අවසර ඉල්ලා සිටිය ද බලධාරීන් අවසර නොදීම නිසා වනෝද්‍යාන බලප්‍රදේශයෙන් පිටත පිහිටි මෙම වැවට ජලය පිරවීමට පියවර ගත් බව ඔවුහූ පැවසූහ.

ජලය ලීටර 15,000 ක බවුසරයක් සඳහා රුපියල් 8,000 ක මුදලක් වැය වන බවත් ඕනෑම කෙනෙක්ට බවුසර් ඇනවුම් කර එම වැව පිරවිය හැකි බවත් සංචාරක මඟ පෙන්වන්නෝ කීහ.