යාපනය එයාර් පෝර්ට් එකත් වසර පහට කෝටි 82ක් ගිලලා


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)


යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ පසුගිය වසර පහේදී  රුපියල් කෝටි අසූ දෙකකට වැඩි පාඩුවක් ලබා ඇතැයි ප්‍රවාහන වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය සභානායක බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ පැවසීය.

යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ මත්තලක් වීමට ඉඩ නොදී සංවර්ධනය කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී එස් සිරිතරන් මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මේ අනුව යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ 2021 වසරේදී රුපියල් කෝටි පහළොවකට ආසන්න මුදලක්ද 2022 වසරේ දී රුපියල් කෝටි 23ක මුදලක්ද 2023 වසරේදී රුපියල් කෝටි 21 කට වැඩි මුදලක්ද 2024 වසරේ දී රුපියල් කෝටි දාහතරකට වැනි මුදලක්ද  2025 වසරේ මේ දක්වා රුපියල් කෝටි අටක මුදලක්ද මෙසේ පාඩු ලබා ඇතැයි  අමාත්‍යවරයා කීවේය.

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළට පසුගිය වසර හයක කාලයේදී දෙස් විදෙස් ගුවන් යානා 3327ක් පැමිණ ඇතැයි පැවසූ අමාත්‍යවරයා එම කාල සීමාවේදී පැමිණ ඇති දෙස් විදෙස් මඟීන් සංඛ්‍යාව එක් ලක්ෂ හයදහස් හත්සිය අනූ හයක්  බවද ප්‍රකාශ කළේය.

මේ අනුව යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළට 2020 වසරේදී දෙස් විදෙස් ගුවන් යානා 140ක්ද 2021 වසරේදී දෙස් විදෙස් ගුවන් යානා 32ක්ද 2022 වසරේදී දෙස් විදෙස් ගුවන් යානා  383ක්ද 2023 වසරේදී දෙස් විදෙස් ගුවන් යානා 864ක්ද 2024 වසරේදී දේශ්ව විදෙස් ගුවන් යානා 1156ක්ද 2025 වසරේ ජූලි මාසය දක්වා දෙස් විදෙස් ගුවන් යානා 752ක්ද පැමිණ ඇති බව ඔහු ප්‍රකාශ කළේය.

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළ දියුණු කළ යුතු බවත් එය කරන්නේ ව්‍යාපාර සැලැස්මක් අනුව බවත්  අමාත්‍යවරයා පැවසීය.

එම ගුවන්තොටුපළ අදියර දෙකක් යටතේ පුළුල් කිරීම කරන බවද ඔහු කීවේය. කටුනායකින් හම්බ කරන සල්ලි අද මත්තලට ආයෝජනය කරන බව  බිමල්  රත්නායක මහතා  සඳහන් කළේය.