යාන්ත්‍රික කියත් වනජීවියට හෝ පොලිසියට බාරදෙන්න


(විනීතා එම් ගමගේ)

දිවයින පුරා රක්ෂිත වනාන්තර ආසන්න ප්‍රදේශයන්හි පෞද්ගලික පරිහරණයේ ඇති යාන්ත්‍රික කියත් පොලිස් ස්ථානවල හෝ වන නිලධාරි කාර්යාලවලට භාරදී අවශ්‍ය අවස්ථාවන්හි දී පමණක් අයිතිකරුවන්ට ලබා ගැනීමට හැකිවන අන්දමේ වැඩ පිළිවෙලක් වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යංශය සැලසුම් කර ඇත.

මේ වනවිටත් සියලු යාන්ත්‍රික කියත් පොලිස් ස්ථානවල ලියාපදිංචි කර ඇති අතර, එයින් රක්ෂිත වනාන්තර ආසන්න පදිංචිකරුවන් ගේ යාන්ත්‍රික කියත් හඳුනාගෙන ඒවා ආසන්න පොලිස් ස්ථානයට හෝ වන නිලධාරි කාර්යාලය භාරයට ගැනීමටත් ඒ වෙනුවෙන් හිමිකරුවන්ට අනු අංකයක් ඇතුළත්  පතක් නිකුත් කිරීමටත් අදහස් කරන බව වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා ලංකාදීපයට අද (20) පැවැසීය.

එම යාන්ත්‍රික කියත් හිමිකරුවන්ට අවශ්‍ය අවස්ථාවල දී ඒවා ලබා ගත හැකි බවත් ඒ සඳහා අවශ්‍යතාව සනාථ කරන ලිපියක් ග්‍රාම නිලධාරීවරයාගෙන් ලබාගෙන ඉදිරිපත් කළ යුතු බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

අවශ්‍ය කාර්යයෙන් පසු යළිත් යාන්ත්‍රික කියත භාර දිය යුතු අතර එය ලබාගත් අවශ්‍යතාව ඉටුකරගෙන ඇත්ද එහි ස්වභාවය කුමක්ද යන්න ග්‍රාමනිලධාරීවරයා විසින් යාන්ත්‍රික කියත භාර දෙන ස්ථානයට ලබා දිය යුතු බවත් කී ලේකම්වරයා වන සංහාර නැවැත්වීමේ එක් පියවරක් ලෙස මෙම පියවර ගන්නා බව ද කියා සිටියේය.

මේ වනවිට කොස්, දෙල් වර්ග, ගැහැණු තල්ගස් හා නැදුන් ගස් කැපීම සම්පූර්ණයෙන් තහනම් වන අතර ගෙවත්තක ඇති ගසක් කපන්නට අවශ්‍ය වුවහොත් ඒ සඳහා බලපත්‍ර ලබා ගත යුතුවේ.

ගෙවතුවල පිහිටි වෙනත් ඕනැම ගසක් කපා ඉවත් කරගත හැකි අතර ඒ සඳහා විශේෂ  බලපත්‍ර අවශ්‍ය නොවේ.

කෙසේ වෙතත් වසරකට යාන්ත්‍රික කියත් 30,000 කට ආසන්න ප්‍රමාණයක් මෙරටට ගෙන්වනු ලබන බව රජයේ සංඛ්‍යා ලේඛන වල සඳහන් වන අතර දිවයින පුරා යාන්ත්‍රික කියත් ලක්ෂ හතරකට ආසන්න ප්‍රමාණයක් ඇතැයි විශ්වාස කෙරේ.