යානය අල්ලන්න එජාප ලේකම් සුසන්තිකා වෙයි


මීට මාස කීපයකට පෙර කිසියම් හේතුවක් මත පාර වැසීම හේතුවෙන් තම වාහනය මග නවතා තබා කොළඹ හිල්ටන් හෝටලයේ පැවති මංගල උත්සවයකට කිලෝ මීටර් දෙකක් රේල් පාර දිගේ පයින්ම ගමන් කරන්නට සිදු වූ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතාට මෙදා එමිරේට්ස් ගුවන් සේවාවෙන් එවැනිම ආකාරයේ අරියාදුවක් සිදුවී තිබෙන බව 'දි ඉන්ඩිපෙන්ඩන්ට්' වෙත වාර්තාවේ. ඒ කතාව සැකවින් මෙසේය.
 
පසුගියදා ලන්ඩන් නුවර පෞද්ගලික සංචාරයක නිරත වූ  අත්තනායක මහතා තම සංචාරය කෙටි කරමින්  මෙරටට පැමිණීමට තීරණය කළේ එදින පස්වරුවේ පැවති පක්ෂයේ විශේෂ දේශපාලන සාකච්ඡාවකට සහභාගී වීම පිණිසය. මේ සඳහා ඔහු ලන්ඩන් නුවර සිට ඩුබායි හරහා ශ්‍රි ලංකාවට පැමිණෙන එමිරේට්ස් ගුවන් සේවාවට අයත් යානා වෙන් කර ගෙන තිබුණු අතර, ලන්ඩන්-ඩුබායි ගුවන් බෝඩින් පත්‍රයට අමතරව ඩුබායි සිට කොළඹට පැමිණෙන ගුවන් යානයේ ආසනය වෙන් කළ බෝඩින් පත්‍රය ද ලන්ඩන් නුවරදීම එමිරේට්ස් ගුවන් සමාගම විසින් අත්තනායක මහතා වෙත භාර දී තිබිණ.
කෙසේ නමුත් තිස්ස අත්තනායක මහතා ලන්ඩන් නුවර සිට පැමිණි එමිරේට්ස් ගුවන් යානය ඩුබායි ගුවන් තොටුපලට පැමිණෙන විට නියමිත් කාලයට වඩා පැයක් ප්‍රමාද වී තිබිණ. මේ අනපේක්ෂිත ප්‍රමාදය නිසා ඩුබායි සිට කොළඹට පැමිණෙන ඊළඟ එමිරේට්ස් ගුවන් යානයට මාරු වීමට අත්තනායක මහතාට ඉතුරු වූයේ පැයකට ආසන්න කෙටි කාලයකි. කොළඹ බලා පිටත්වන ගුවන් යානා ගේට්ටු කවුන්ටරය ලෙස අත්තනායක මහතාට ලන්ඩන් නුවරදී නිකුත් කළ ආසන වෙන් කිරීමේ බෝඩින් පත්‍රයේ සඳහන් වූයේ 26 වන කවුන්ටරයයි.
 
එහෙත්, එම අංක 26 දරණ ගේට්ටු කවුන්ටරය පිහිටියේ ලන්ඩන් සිට පැමිණි ගුවන් යානය නතර කළ ස්ථානයේ සිට දුරින් පිහිටි ගොඩනැගිල්ලක වූ අතර එම ස්ථානය වෙත ගමන් කළ යුතුව තිබුණේ ද මගී රේල්ලුවකිනි. එබැවින් ඒ ගමන සඳහා විනාඩි 15 ක් පමණ අත්තනායක මහතාට ගත විය. එහෙත් අවාසනාවක මහත! තිස්ස අත්තනායක මහතා කඩිමුඩියේ අංක 26 ගේට්ටු කවුන්ටරය වෙත ගොස් තම අතේ තිබූ ගුවන් යානා ආසන වෙන් කිරීමේ බෝඩින් පත කවුන්ටරයේ සිටි එමිරේට්ස් සේවිකාවන්ට ඉදිරිපත් කළ අවස්ථාවේ දී ඔවුන් පවසා ඇත්තේ අත්තනායක මහතා අංක 26 වෙත නොව අංක 16 ගේට්ටු කවුන්ටරය වෙත යා යුතු බවය; ඒ එතැන සිට තව කිලෝ මීටරයක් පමණ දුර පා ගමනිනි.
 
කාලය සමග පොර බදමින් සිටි අත්තනායක මහතා ට කළ හැකිව තිබූ හොඳම දෙය වූයේ අංක 16 කවුන්ටරය වෙත ඉක්මනින් දිව යාමයි. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම්තුමා ඩුබායි හි අංක 26 ගේට්ටු කවුන්ටරයේ සිට අංක 16 ගේට්ටු කවුන්ටරය දක්වා එක පිම්මේ දිව ගොස් තිබේ.   අත්තනායක මහතාගේ බෝඩින් පත්‍රය පරීක්ෂා කළ අංක 16 ගේට්ටු කවුන්ටරයේ සිටි නිලධාරීන් ඔහුට කීවේ ඔහු සත්‍යවශයෙන්ම යා යුතුව ඇත්තේ අංක 26 ගේට්ටු කවුන්ටරයට බවය; එනම් ආපසු කිලෝමීටරයක් කලින් ගිය ගේට්ටු කවුන්ටරයටම!   
කෙසේ නමුත්, රාජතාන්ත්‍රික ගුවන් බලපත්‍රයක් හිමි විශේෂ ගුවන් මගියකු (වී. අයි.පී) වන   අත්තනායක මහතා ආ වේගයෙන්ම හැරී කලින් සිටි 26 ගේට්ටු කවුන්ටරයට ම යළි බෑගයත් උස්සා ගෙනම දිව්වේය. අහෝ! එවර එම නිළධාරීන් අත්තනායක මහතාගේ ලියවිලි පරික්ෂා කර බලා කීවේ 26 ගේට්ටු කවුන්ටරය නියම කවුන්ටරය බවත් එහෙත් දැන් ආසනයක් වෙන්කළ නොහැකි තරමට ඔහු ප්‍රමාද වී ඇති බවත් ය. අවසානයේ සෑහෙන තරමේ කතා බහකින් පසු යාන්තම් කොළඹට ඒමට එමිරේට්ස් යානයේ ආසනයක් ලබා ගැනීමට අත්තනායක මහතාට හැකිවී තිබේ. ඒ කිලෝමීටර දෙකකට වැඩි, හදිසියට තනිවම දුර දිවීමේ තරගයකට පසුවයි.
 
  අත්තනායක මහතාගේ දුර දිවීම එතනින් හමාර වුවත් එමිරේට්ස් කතාව එතැනින් කෙළවර නොවේ. ඒ, ක‍ටුනායකට පැමිණි අත්තනායක මහතාට දැන ගැනීමට ලැබුණු පණිවුඩයකිනි; එමිරේට්ස් ගුවන් යානය අත්තනායක මහතා  කොළඹට ගෙනාව ද ඔහුගේ ගමන් මල්ල කොළඹට ගෙනවිත් නැත. එය තවමත් ඩුබායි වලය! එබැවින් ඔහුට යළිත් වතාවක් කටුනායකට ගොස් ගමන් මල්ල රැගෙන ඒමට සිදුවිය. වාසනාවට මෙවර දෙපයින් නොව වාහනයකින් යාමට ඔහුට හැකි විය.

මේ සිදු වූ අකරතැබ්බය සම්බන්ධයෙන් මෙරට පිහිටි එමිරේට්ස් ගුවන් සේවා කාර්යාලයට ලිඛිතව දැනුම් දීමට  අත්තනායක මහතා පියවර ගැනීමට නියමිත බවද පැවැසේ.