යතුරුපැදි- මොටර් රථ අනතුරින් සිඟිත්තියකට දිවි අහිමිවෙයි


(කාංචන කුමාර ආරියදාස)

සීගිරිය  දිගම්පතහ මාර්ගයේ දී අද  (11 ) යතුරුපැදියක් මෝටර් රථයක පිටුපස ගැටීමෙන් එහි ගමන් ගත් වයස අවුරුදු තුන හමාරක් වූ සිඟිති දියණියකින් මිය ගොස් ඇතැයි සීගිරිය පොලිසිය කියයි.

 මෙසේ මියගොස් ඇත්තේ දඹුල්ල සියඹලාගස්වැව ප්‍රදේශයේ පදිංචි සසිත්මි නෙහන්සා අළුවිහාරේ නම් වූ සිඟිති දැරියකි.

 යතුරු පැදිය පැදවූ මිය ගිය දියණියගේ පියා  ඉස්කූට  වර්ගයේ යතුරු පැදියේ දියණිය ඉදිරි පස කොටසේ තබාගෙන  ධාවනය කොට  තිබේ. 

 දිගම්පතහ සිට සිගිරිය දෙසට ගමන් කරමින් සිටිය දී ඉදිරියෙන් ගමන් ගත් මෝටර් රථයක පිටුපස යතුරු පැදිය ගැටී මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය කියයි.

යතුරුපැදිය මෝටර් රථයේ ගැටීමත් සමඟ ඉදිරියේ හිටගෙන ගිය පුංචි දියණිය මාර්ගයෙන් ඉවතට විසි වී ඇතැයි මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබේ. කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් මෝටර් රථ රියැදුරු මෝටර් රථය පොලිස් භාරයට ගත් බව සීගිරිය පොලිසිය කියයි.

දියණියගේ මව   සීගිරිය ප්‍රදේශයේ සංචාරක හෝටලයක සේවය කරන බවත් ඇය වැඩ අවසන් කොට  නිවෙසට කැඳවාගෙන ඒම සඳහා මෙම දියණියත් පියාත් හිස් වැසුම් පැළඳගෙන යතුරුපැදියෙන් යමින් සිටියදී අනතුර සිදුවී ඇතැයි ඔවුහු පවසති.