මොරටු සරසවියට නැනෝ තාක්ෂණ විද්‍යාගාරයක් එයි


මොරටුව විශ්ව විද්‍යාලයේ යාන්ත‍්‍රික ඉංජිනේරු අංශයේ නවතම මෙකාට්‍රොනික්ස් සහ මයික්‍රෝ/ නැනෝ ඉලෙක්ට්‍රෝ යාන්ත‍්‍රික විද්‍යාගාර ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ලැබූ දැනට ජපානයේ රිට්සුමිකන් ට‍්‍රස්ට් විශ්ව විද්‍යාල පදනමේ උප කුලපති මහාචාර්ය මොන්ටේ කාසීම් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා ඉංජිනේරු අංශයේදී විවෘත කැරිණි.

මෙකාට්‍රොනික්ස් යනු  යාන්ත‍්‍රික ඉංජිනේරු, ඉලෙක්ට්‍රොනික, පරිගණක සහ පාලන පද්ධති ඉංජිනේරු ශිල්ප ක‍්‍රමවල සංකලනයකි. උදාහරණයක් ලෙස රොබෝවරු නිර්මාණය කිරීමෙහිලා මෙම තාක්‍ෂණය වැදගත් තැනක් උසුලයි. මෙම විවෘත කිරීමේ අවස්ථාවට මොරටුව විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන, නියෝජ්‍ය උප කුලපති මහචාර්ය ආර්.ඒ. අතලගේ සහ ඉංජිනේරු පීඨ ප‍්‍රධානී මහාචර්ය යූ.ජී.ඒ. පුස්වෑවල යන මහත්වරු සහභාගි වූහ.

‘විවෘත නව නිර්මාණ’ සංකල්පය තුළින් සමාජයීය හා පාරිසරික වශයෙන් උසස් තාක්‍ෂණය බිහිකිරීමට අවස්ථාව සැලසෙන අතර ජපානය හා මොරටුව විශ්ව විද්‍යාලය අතර තාක්‍ෂණික සබඳතා ගොඩනැඟීමට මෙය හොඳ අවස්ථාවකි.

පර්යේෂණ පිළිබඳව ඉගැන්වීමට, අලූතින් නිර්මාණ සිදු කිරිමට, මෘදුකාංග පිළිබඳව පුහුණුවීමට මෙන්ම කර්මාන්ත ස්වයංක‍්‍රීය පාලක, කාර්මික රොබෝවරු, ජංගම දුරස්ථ පාලක රොබෝවරු, ස්වයංක‍්‍රීය කාර්මික නිෂ්පාදන සහ නිෂ්පාදන පද්ධති මොඩියුල පිළිබඳව හැදෑරීමට මෙම නව විද්‍යාගාරයෙන් හැකිවේ.

බොහෝ ක‍්‍රියාකාරකම් මෙම විද්‍යාගාරයෙන් සිදුකිරීමට හැකි වන අතර මෙම තාක්‍ෂණය සිසුන්ටත්, ඉගැන්වීම් ක‍්‍රියාකාරකම් සඳහා යෙදවීමටත් බලාපොරොත්තු වෙනවා. එමන්ම 2016 වසරේදී ළමයින් 10 දෙනකුට මෙකාට්‍රොනික්ස් ඉංජිනේරු අංශයේ අධ්‍යාපනය හැදෑරීමට අප අවස්ථාව ලබාදී තිබෙනවා.

Machatronics-1 Machatronics-2 Machatronics-3 Machatronics-4 Machatronics-6