මොරටු විදුහල්පතිනියකගෙන් නිදහසට කරුණු විමසයි


ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති   ඉදිරියේ පැවැති පරීක්ෂණයක් සඳහා පෙනී නොසිටීමෙන් කොමිසමට අපහාස  කිරීම සම්බන්ධයෙන් නඩු නොපැවරීමට දින හතක් ඇතුළත නිදහසට කාරණා ඉදිරිපත් කරන්නැයි  මොරටුවේ පාසලක විදුහල්පතිනියකට මානව හිමිකම් කොමිසම අද (01) නියෝග කළේය.

අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ නවය හා ඒ අට ගත් ශිෂ්‍යාවන් ජනප්‍රිය පාසල්වලට යෑමට චරිත සහතිකයක් ඉල්ලූ විට බලහත්කාරයෙන් අස්වීම ලබා දුන්නැයි ද කියමින් එම පාසලේ දෙමාපියන් තිදෙනකු මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර තිබිණි.

මොරටුවේ විද්‍යාලයයෙන් අස්වීම දුන්නද ජනප්‍රිය පාසල්වලට තම දරුවන් ඇතුළත් කර නොගත් නිසා කිසිදු පාසලක් නැතිව දරුවන් අසරණ වී ඇතැයි දෙමාපියෝ කීහ.

මානව හිමිකම් කොමිසමේ සභාපති විශ්‍රාමික විනිසුරු ප්‍රියන්ත පෙරේරා මහතා ඉදිරියේ අද (01) එම සිද්ධිය විභාගයට ගත් අවස්ථාවේ ජනප්‍රිය පාසල් කිහිපයක විදුහල්පතිවරුන් සහ අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරියකු පැමිණ සිටියත් චෝදනා ලාභී මොරටුවේ විදුහල්පතිනිය වෙනුවට පැමිණ සිටියේ එහි නියොජ්‍ය විදුහල්පතිනියකි.

කොමිසමේ නියෝග නොතකා විමර්ශනයේ දී පෙනී නොසිටීමෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට අපහාස කිරීම සම්බන්ධයෙන් නඩු නොපැවරීමට නිදහසට කරුණු ඉදිරිපත් කරන්නැයි එම විදුහල්පතිනියට නියෝග කළේය.

මොරටුවේ විදුහල්පතිනියට අමතරව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්, ජාතික පාසල් අධ්‍යක්ෂ සහ කොළඹ ජනප්‍රිය පාසල් කිහිපයක විදුහල්පතිවරු එම පෙත්සම්වල වගඋත්තරකරුවෝ වෙති.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා අගතියට පත් දෙමාපියන් වෙනුවෙන් පෙනී සිටියේය.