මොණරාගල පොලිසියත් නඩු අහන්න යයි


යාල ජාතික වනෝද්‍යානයේ ප්‍රෙරණ කලාපයේ සිදුවූ බව කියන ඉඩම්  කොල්ලයක් සහ ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනකු මුදා හරින ලෙස ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරයකු වන සංරක්ෂණ නිලධාරීන්ට කළැයි කියන බලපෑමක් ගැන වාර්තා කළ ලංකාදීප මොණරාගල මාධ්‍යවේදී නයනජීව බණ්ඩාර  ප්‍රකාශයක් ලබා ගැනීමට   ප්‍රදේශයේ සහකාර පොලිස් අධිකාරීවරයකු හමුවට කැඳවා තිබේ.

  සහකාර පොලිස් අධිකාරීවරයා හමුවී අද (17) ප්‍රකාශයක් ලබා දෙන්නැයි සදහන් පොලිස් පණිවුඩය සෙනසුරාදා (16) සවස මොණරාගල මූලස්ථාන පොලිසිය මාධ්‍යවේදියාගේ නිවසට ගෙනැවිත් බාර දී ඇත.

බුත්තල පොලිස් විශේෂ කාර්ය බළකාය සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය නව වැනි දා යාල ජාතික වනෝද්‍යානයේ ප්‍රේරන කලාපයේ අක්කර 75ක පෙදෙසක උක් වගා කිරීමට සූදානම් වූ බව කියන දෙදෙනක් අත්අඩංගුවට ගනු ලැබූහ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට යෑමේ දී පොලිස් ස්ථානාධිපතිවරයකු සැකකරුවන් ගොඩින් බේරන්නැයි බලපෑම් කළ බව වන සංරක්ෂණ නිලධාරීහු පවසතියි ලංකාදීපය වාර්තා කළේය.

එම පොලිස් ස්ථානාධිපතිගේ බලපෑම් ගැන දිසා වන නිලධාරී පොලිස්පතිවරයාට කළ පැමිණිල්ලක් අනුව මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියලාල් දසනායක මහතාගේ අධීක්ෂණයෙන් සහකාර පොලිස් අධිකාරීවරයකු විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

එම විමර්ශනයේ දී මොනරාගල වන නිලධාරීන්ගෙන් ද, වැටලීමට එක්වූ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙත ඇතැයි පොලිස් ආරංචි කියයි.

ප්‍රකාශයක් ලබා ගැනීමට ලංකාදීප මාධ්‍යවේදියා කැඳවූ පොලිස් පණිවුඩය ලද වහාම පෙර යොදා ගත් කටයුත්තක් නිසා ඉරිදා (17) උදේ පොලිසියේ පෙනී සිටීමට නොහැකි බව එම සහකාර පොලිස් අධිකාරීට දුරකතනයෙන් දැනුම්දීමට උත්සාහ කළත් ඒ අවස්ථාවේ ඔහු රැස්වීමට සිටින බව කී නිසා මාධ්‍යවේදියා එස් එම් එස් පණිවුඩයකින් ඒ බව දැනුම් දුන්නේය.

උසස් පොලිස් නිලධාරියකු කීවේ එවැනි පරීක්ෂණයකට මාධ්‍යවේදියාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අනවශ්‍ය බවයි. ඔහු පොලිසියට යෑමේ අවශ්‍යතාවක් නැතැයි ද උසස් පොලිස් නිලධාරියා කීවේය.