මෛත්‍රීට සහායට ලන්ඩන් හවුලක්


ශ්‍රි ලංකාව තවත් සිම්බාබ්වේ රාජ්‍යයක් නොවීම සදහා ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දැක්වීම සඳහා ලන්ඩනයේ ස්වාධින දේශපාලන සංසදයක් පිහිටුවා ගැනිණි.

එක්සත් ජාතික පක්ෂය, ජාතික හෙළ උරුමය, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හා සෙසු දේශපාලන පක්ෂද සිවිල් සංවිධානද මෙම සංසදය යටතේ ‘මෛත්‍රී සහාය කණ්ඩායම‘ නමින් එකමුතුවක් අරඹා ඇත.

විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දී 31 වසරක් ගත වන විට 18 වැනි සංශෝධනය මගින් වත්මන් ජනපතිට හා ඔහුගේ පවුලේ සාමාජිකයිනට හා රජයේ ඇමැතිවරුනට හා ඔවුන්ගේ ගෝලබාලයනට නීතිය හා සාමය සිඳ බිඳ දැමීමේ හැකියාව ලැබී ඇතැයි පුවත් පත් නිවේදනයක් නිකුත් කරමින් එම සංසදය කියයි.

පොලිසිය නඩු ඇසීමේ පමණක් නොව තීන්දු දීමේ රාජකාරියද කරමින් නිතියෙන් පරිබාහිර ඝාතනවලට සම්බන්ධ බවද, පොලිසිය පාලකයන්ගේ දාසයන් වී ඇති බවද, ස්වාධින මැතිවරණ කොමිසමක් ක්‍රියාත්මක නොවන බවද, රජය අධිකරණයට ඇඟිලි ගසන බවද, ඇස්තමේන්තු ඉක්මවා රජය අති විශාල ලෙස මුදල් වැය කරන බවද, ආර්ථික අර්බුදයක් ඇති කර ඇති බවද එම සංසදය පවසයි.

මෛත්‍රිපාල සිරිසේන දිනවිය යුත්තේ ඇයිද කියා ශ්‍රී ලංකාවේ ඉන්නා තම නෑදෑ හිතමිත්‍රාදීන් දැනුවත් කිරීම ඔවුන්ගේ අරමුණයි.

මැතිවරණය පසුබිම්කොට ගනිමින් දැනට ශ්‍රී ලංකාවේ පැතිරෙමින් පවත්නා දේශපාලන වාතාවරණය පිලිබඳ සැලකිල්ලිමත්වීම අත්‍යාවශ්‍ය බවත් මෙවර මැතිවරණයේදී ඔවුනගේ වටිනා ඡන්දය ඥානාන්විතව පාවිච්චිකිරීම අත්‍යවශ්‍ය වන බවත් සිය ඥාතීන් වෙත දන්වා යැවීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි.

මෙම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ලන්ඩන් නුවර අනෙකුත් ශ්‍රී ලාංකිකයින් දැනුවත් කිරීමේ සහ ඔවුනගේ සහභාගීත්වය ලබාගැනීමේ ප්‍රසිද්ධ රැස්වීමක් "ඉවසුවා ඇති එක්වෙමු වෙනසක් කරමු" නමින් ලබන ඉරුදින (28) ලන්ඩන් විට්න් ප්‍රජා මණ්ඩලයේදී පැවැත්වීමට නියමිතය.

සංවිධායකයෝ - 075 3664 7037 /  075 0619 2180

ෆේස්බුක් - https://www.facebook.com/SupportMaithriUK

sss