මෛත්‍රීට-මහින්දට ජීවිත තර්ජන ඇතැයි කී ඉන්දියානුවා මානසික රෝගියෙක්


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහ ශිරන්ති රාජපක්‍ෂ යන මහත්ම මහත්මීන්ට ජීවිත තර්ජනයක් ඇතැයි රහස් පොලිසියට කී ඉන්දියානු ජාතිකයා 2000 වසරේ සිට මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන පුද්ගලයකු බව අනාවරණය වී ඇතැයි කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවැසීය.

මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ එම ප්‍රකාශකයා මෙසේ ද කීය.

“ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ දේශපාලන නායකයන්ගේ ජීවිතවලට තර්ජන ඇති බව ඉන්දීය ජාතිකයකු පවසා ඇති බවටත් ඔහු ශ්‍රී ලංකා පොලිසියේ සිටින බවටත් පළ වූ මාධ්‍ය වාර්තා අපේ අවධානයට යොමුවුණා.

මේ සම්බන්ධයෙන් අපි දැඩි අවධානය යොමු කරමින් ශ්‍රී ලංකා බලධාරීන් අපට දුන් සීමිත තොරතුරු පදනම් කරගනිමින් ඒ පුද්ගලයා පිළිබඳව පසුබිම් තොරතුරු සොයන්නැයි අපේ රටේ බලධාරීන්ට වහාම දැනුම් දුන්නා. ඒ අනුව සිදුකළ පරීක්‍ෂණයේදී මොහු 2000 වසරේ සිට මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන පුද්ගලයකු බව අනාවරණය වී තිබෙනවා. අපි මේ තොරතුරු ශ්‍රී ලංකා බලධාරීන්ට දැනුම් දී තිබෙනවා. ඒ වගේම මේ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ සහ වෘත්තීය පරීක්‍ෂණයක් කිරීමට අපි අපේ උපරිම සහයෝගය ලබා දෙනවා.” යැයි ද ඔහු කීය.