මෛත්‍රී පොදු අපේක්ෂකයාවී වසරයි


මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය  ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා බවට පත් වී අදට (21) වසරක් සපිරෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමැතිවරයා ද වූ සිරිසේන මහතා 2014 නොවැම්බර 21 වැනි දා ආණ්ඩුවෙල් එළියට විත් ජනවාරි අට වැනි දා ජනපතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙස තමා ඉදිරිපත් වන බව ප්‍රකාශයට පත් කළේය.

එදින උදේ 9ට බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති උත්සවයකට සහභාගී වූ මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ කීවේ.

‘ජනතාව බලය දෙන්නේ ජනතාව තලා පෙළන්නට නොවේ සල්ලි හම්බකරන්නත් නොවේ.දුෂණ වංචා කරන්නත් නොවේ.ජනතා සේවයටයි රටට වැඩ කරන්නයි.බලය ලැබුණු විට එය අයුතු විදියට පාවිචිචි නොකළ යුතුයි.ජනතාව යටපත් නොකළ යුතුයි.බලයෙන් මත් නොවිය යුතුයි.ජනතාවගේ (රජයේ ) බාරකරු ජනතාව හා ජනතා නියෝජිතයින් යටපත් නොකළ යුතුයි.‘

එම උත්සවයට සහභාගී වී එළියට ආ මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් මාධ්‍යවේදීහු දිගින් දිගටම ප්‍රශ්න කළහ. ඊට පිළිතුරු ලෙස එවකට සෞඛ්‍ය ඇමැතිවරයා කීවේ කාලය බොහෝ දේ වෙනස් කරනු ඇති බවයි. ‘ඇතැමි විට මගේ අවසාන රාජ්‍ය උත්සවයද මෙය විය හැකියි. අපි කාලයට ඉඩ දී බලා සිටිමු. කාලයට වැඩිපුර ඉඩ දෙන්නත් බැහැ.‘ යනුවෙනි.

සිරිසේන මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වෙන බවට පැතිර ගිය රාවයක් නිසා එදින උදේ 9 සිට මාධ්‍යවේදීහු විශාල පිරිසක් කොළඹ නව නගර ශාලාවේ රැස්වී සිටියහ.

ජනපතිවරණයේ දී සිරිසේන මහතා පොදු අපේක්ෂක ලෙස ඉදිරිපත් කිරීමට එදින දහවල් සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යධිකාරී මණ්ඩලයේ දී අනුමැතිය ලැබිණි.

2014 නොවැම්බර 21 වැනි දා සවස 3.15ට පමණ එවකට සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා නව නගර ශාලාවට පැමිණියේ ය. එතැන රැස්ව සිටි පිරිසක් මල්මාලා දමා ඔහු පිළිගෙන මාධ්‍ය සාකච්ඡාව සූදානම් කර තිබූ තැනට කැඳවාගෙන ගියහ.

හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද, එවකට ධීවර ඇමැති රාජිත සේනාරත්න, අධ්‍යාපන සේවා ඇමැති දුමින්ද දිසානායක, බුද්ධ ශාසන නියෝජ්‍ය ඇමැති එම් එක් ඩී එස් ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අර්ජුන රණතුංග, රජීව් විජේසිංහ සහ වසන්ත සේනානායක මහත්වරු ද එම මාධ්‍ය සාකච්ඡාවට එක්වූහ. 

(එදින ලංකාදීප එසැණ වෙබ් අඩවියේ පළ වූ ප්‍රවෘත්ති හා ඡායාරූප පහතින්)


 

මෛත්‍රීපාලට වැඩ ගොඩයි

2014 නොවැම්බර් මස 21 10:04:59 | තරිඳු ජයවර්ධන , අකිල බද්දෙවිතාන

 

සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා බත්තරමුල්ල ‘අපේගම‘ උත්සවයකට අද (21) පෙරවරු 9 ට සහභාගි වීමට නියමිතව තිබුණත් පෙරවරු 10 වන විටත් පැමිණ නැති බව දැනගන්නට ඇත.අමාත්‍යංශයේ පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවයක් එහි සංවිධානය කැර ඇත.

එහිදී සෞඛ්‍ය අමාත්‍යංශ නිලධරයකු පැවසුයේ ඇමැතිවරයා එම උත්සවයට පැමිණිම ප්‍රමාද වන බවයි.ඊට හේතුව වශයෙන් ඔහු පැවසුයේ මහින්ද රාජපක්ෂ ජනපතිගේ හදිසි කැඳවීමක් අනුව අරලියගහ මන්දිරයට යෑමට නියමිතව සිටි බවයි.

මේ අතර පුවත්පත් සාකච්ඡාවක් සඳහා ඇමැතිවරයා  පෙරවරු 10 ට කොළඹ නව නගර ශාලාව වෙනත් පුද්ගලයකුගේ නමින් වෙන් කැර ඇතැයි ලැබුණු ආරංචි අනුව දෙස් විදෙස් මාධ්‍යවේදීහු එහි  රොක් වී සිටිති.බොහෝ විට එම පුවත්පත් සාකච්ඡාව සවස්වරුව දක්වා පමා වීමට හෝ අවලංගු කිරීමට ඉඩ ඇතැයි වාර්තාවේ.


මෛත්‍රීපාල එනතුරු

2014 නොවැම්බර් මස 21 11:37:39 | තරිඳු ජයවර්ධන , අකිල බද්දෙවිතාන

 

සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවක් සඳහා දැන් දැන් එතියි දෙස් විදෙස් මාධ්‍යවේදීහු කොළඹ නවනගරශාලාවේ රැස්ව සිටිති.

පෙරවරු 10ට එම සාකච්ඡාව පැවැත්වෙන බව මුලින් සඳහන් කළත් දැන් ඇති ලකුණු අනුව පස්වරු12ට හෝ පස්වරු 1.30ට එම සාකච්ඡාව ඇරැඹෙතියි දැනගන්තට ඇත.සමහර විට සාකච්ඡාව නොපැවැත්වීමටද ඉඩ ඇතැයි ද පැවසේ.


 

මෛත්‍රී සන්ධානේ අවසන් රැස්වීම අමතයි

‘බලය දෙන්නේ සල්ලි හම්බ කරන්නත් නොවේ‘

2014 නොවැම්බර් මස 21 11:48:44 | . , ඩයනා උදයංගනී,ඡායාරූප ඉෂාන් සංජීව

 

‘කාලය බොහෝ දේ වෙනස් කරනු ඇති. ඇතැමි විට මගේ අවසාන රාජ්‍ය උත්සවයද මෙය විය හැකියි අපි කාලයට ඉඩ දී බලා සිටිමු.‘ යනුවෙන්  මෛත්‍රීපාල සිරිසේන සෞඛ්‍ය ඇමැතිවරයා බත්තරමුල්ල අපේගමදී මින් මද වේලාවකට පෙර ප්‍රකාශ කළේය.

ඔහු ඒ රැස්වීමට පැමිණියේ පැය එකහමාරක ප්‍රමාදයකින් පසුවය.

ඇමැති මෙසේද කිවේය .

‘ජනතාව බලය දෙන්නේ ජනතාව තලා පෙළන්නට නොවේ සල්ලි හම්බකරන්නත් නොවේ.දුෂණ වංචා කරන්නත් නොවේ.ජනතා සේවයටයි රටට වැඩ කරන්නයි.බලය ලැබුණු විට එය අයුතු විදියට පාවිචිචි නොකළ යුතුයි.ජනතාව යටපත් නොකළ යුතුයි.බලයෙන් මත් නොවිය යුතුයි.ජනතාවගේ (රජයේ )බාරකරු ජනතාව හා ජනතා නියෝජිතයින් යටපත් නොකළ යුතුයි.‘


 

මෛත්‍රීපාල පොදු අපේක්ෂක

2014 නොවැම්බර් මස 21 13:49:21 | . , සුජිත් මංගලද සිල්වා

 

විපක්ෂයේ  ජනපතිවරණ පොදු අපේක්ෂක ලෙස  සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කිරීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (21) ඒකමතිකව තීරණය කළේය.


 

සැක පිරිසක් නව නගර ශාලාව ළඟ

2014 නොවැම්බර් මස 21 15:00:19 | තරිඳු ජයවර්ධන

 

විපක්ෂයේ පොදු අපේක්ෂකයා වීමට යන සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ විහාරමහාදේවී උද්‍යානය ඉදිරිපිට කොළඹ නවනගර ශාලාවට එතියි බලාපොරොත්තුවෙන්  දෙස් මධ්‍යවේදීහු ද එජාප හා හෙළ උරුම සාමාජිකයෝද එහි පැමිණ සිටිති.

සැකකටයුතු ජීප් රියක්ද  පාරේ එක් පසෙක නවතා ඇතැයි ද එම පිරිසේ නායකයා කවුදැයි හඳුනාගෙන ඇතැයිද එහි සිටින පිරිස කියති.


 

මෛත්‍රී සමඟ රාජිතත් එයි

2014 නොවැම්බර් මස 21 15:16:14 | . , අකිල බද්දෙවිතාන,තරිදු ජයවර්ධන

 

නවනගර ශාලාවේ පුවත්පත් සාකච්ඡාවට සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ධිවර ඇමැති රාජිත සේනාරත්නද  මහතා  ද මිට සුළු වේලාවකට පෙර පැමිණියේය.

හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියද මේ අවස්ථාවට පැමිණ සිටියාය.


 

මෛත්‍රී පොදු අපේක්ෂකයා

2014 නොවැම්බර් මස 21 15:39:31 | . , තරිදු ජයවර්ධන,අකිල බද්දෙවිතාන,දිල්රුක්ෂි ග්‍රේරු

 

පොදු අපේක්ෂක ලෙස පත් කැර ගැනීම ගැන මෛත්‍රීපාල සිරිසේන මහතා  එක්සත් ජාතික පක්ෂයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හා සෙසු සහෝදර පක්ෂ වලට ස්තූති කරමින් කොළඹ නව නගර ශාලාවේ ප්‍රවෘත්ති සාකච්ඡාව ඇරැඹිය.

තම ජනපති ප්‍රතිපත්ති මාලාවද ඉදිරිපත් කරන බව ඔහු කීවේය.


 

දින සීයයකින් විධායක ජනපති ක්‍රමය අහෝසියි

නව රජයේ අගමැති රනිල්

2014 නොවැම්බර් මස 21 18:24:44 | . , තරිදු ජයවර්ධන,අකිල බද්දෙවිතාන,සජීව විජේවීර,දිල්රුක්ෂි ග්‍රේරු ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි,ඩික්සන් වසන්ත

 

තමා බලයට පත් වී දින 100 කදී විධායක ජනාධිති ක්‍රමය අහෝසි කර කරන බව විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ නව නගර ශාලාවේදී ප්‍රකාශ කළේය.

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා තම රජයේ අගමැති  බවද ඔහු කීවේය.

සිරිසේන  මහතා මෙසේද කීවේය.

අද පවතින ආණ්ඩුව යුද ජයග්‍රහණයෙන් පසු අපි බලාපොරොත්තු නොවූ තැනකට ගමන් කරන්න පටන් ගත්තා. 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නැති කළා. අද මේ රට යන දිශාව අනුව පැහදිලිව පෙනෙන්නට තිබෙනවා පසුගිය අවුරුදු කිහිපයේ සිට අපි ගියේ සොඳුරු ආඥාදායකත්යකට. ඡන්ද තියනවා. සිනා මුසු මුහුණින් සංවර්ධනය ගැන කතා කරමින් යනවා. අපිට හා ජනතාවට එකඟ විය නොහැකි දූෂණය වංචාව, අසාධාරණය නීතිය ආධිපත්‍යය බිඳ දැමීම ඇතුළු බිද වැටීම් තිබෙනවා. පොලීසිය බරපතල විනාශයකට ගමන් කර තිෙබනවා. වරදකරුවන්ට විරුද්ධව පොලිසියට නිසි ලෙස කටයුතු කරන්න බැහැ. ඒ නිසා ඒ නිසා මෙය ආඥාදායකත්වයක් බව පැහැදිලියි.

මම  කිසිසේත්ම හිතුවේ නැහැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙය ලේකම්වරයා වූ මා එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂය විසින් පොදු අපේක්ෂකයා ලෙස තෝරාගනීවියැයි කියා. මෙය එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අප විශාල කණ්ඩායමක් ඇතුළු බොහෝ දෙනා අත්වැල් බැඳයන ගමනක් බවට පත්ව තිබෙනවා. ඉතිහාසයේ ප්‍රථම වතාවට එක්සත් ජාතික පක්ෂයෙන් තමන්ගේ ජනාධිපති අපේක්ෂකත්වය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙමින් විශාල කැපවීමක් කර තිබෙනවා. ඒ වෙනුවෙන් මා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයටත් විපක්ෂය නියෝජනය කරන සියළු දෙනාටත් මා ස්තූතිවන්ත වනවා.

මේ උතුම් ජනතාවගෙන් මා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මේ රටට ජාතියට රාජ්‍ය පාලනයට බරපතල ඛේදවාචකයක් ඇති වී තිබෙනවා. මේ රටේ නීතිය සදාචාරය ප්‍රජාතන්ත්‍රවාදය නැති කළ විධායක ජනාධිපක්‍රමය දින සියයකින් අහෝසි කිරීම සඳහා මට බලය දෙන්න කියා මා අපේ රටේ ආදරණීය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

අද රාජ්‍ය සේවකයන්, පුද්ගලික සේවකයන්, දුප්පත් මිනිසුන් අසරණ වෙලා. තමන්ගේ දරු පවුල නඩත්තු කරන්න මුදලක් ලැබෙන්නේ නැහැ. කම්කරුවාගේ සිට සියළුම දෙනාගේ ආර්ථිකය ගොඩනැංවීමේ ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ වගකීම අපට තිබෙනවා. සමස්ථයක් රටේ ජනතාව වෙනුවෙන් නිදහස, සමානාත්මතාව, ප්‍රජාතන්ත්‍රවාදය ඇති යහපත් රටක් ගොඩනැගීමට මා බලාපොරොත්තු වෙනවා.

පොලිසියට අධිකරණයට ස්වාධීනව, අපක්ෂපාතීව හා නිදහසේ යුක්තිය ඉටුකරමින් සේවය කිරීමට අවශ්‍ය ඉඩ අපි ලබාදෙනවා. රාජ්‍ය සේවකයන්ට දේශපාලනයකින් තොරව සාධාරණව අපක්ෂපාතීව කටයුතු කිරීමේ අවස්ථාව අපි ලබාදෙනවා.

මැතිවරණ වලින් අපි හෙම්බත් වන නිසා ආරක්ෂක අංශ වලින් මා කාරුණිකව ඉල්ලා සිටිනවා නිදහස් හා සාධාරණ මැතිවරණයකට ඉඩ ලබා දෙන්න කියා. කිසිදු බලපෑමකට යටත් වන්න එපා යැයි අපි ඉල්ලා සිටිනවා. 

හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහාචාර්ය  පාර්ලිමේන්තු මන්ත්‍රී රජීව විජේසිංහ,පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුණ රණතුංග වසන්ත සේනානායක,නියෝජ්‍ය ඇමැතිවරුවරුන් වන එම් කේ ද එස් ගුණවර්ධන ,දුමින්ද දිසානායක යන මහත්වරු මේ රැස්වීමට පැමිණ සිටියහ.

ශ්‍රිලනිප,එජාප හා එම පක්ෂවල ප්‍රතිපත්ති පිළිගන්නා සහෝදර පක්ෂ සමඟ සන්ධානයක් නව පෙරමුණක් පිහිටුවා ගැනේ.එම රජයේ අගමැති එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතායි.

· රටේ ආර්ථික බලය,ධනය පාලනය ,කළමනාකරණය යන සියළු දේ  එක් පවුලක බලයට යටවෙලා.

· උසාවි අධිකරණ පොලිස් රාජකාරී බිඳ වැටිලා.නීතීයේ ස්වාධිපත්‍යය කඩා වැටිලා .දුෂණය ,වංචාව ,අයුක්තිය ,හොරකම බරපතල ලෙස පැතිරිලා

· මේ රට සොඳුරු අඥාදායකෙත්වයක් කරා යනවා .

·   අපේ රටට රාජ්‍ය පාලනයට ප්‍රජාතන්ත්‍රවාදය,සාධාරණය,යුක්තිය හා සැබෑ නිදහස ඇති කරනවා.අල්ලස දුෂණය නැති කරනවා.

· ගොවි,කම්කරු,රාජ්‍ය හා පෞද්ගලික සේවක ආර්ථිකය නංන්වනවා.

·  ස්වාධිනව හා අපක්ෂපාතව රාජකාරී කිරීමේ අවස්ථාව පොලීසියට,අධිකරණයට ලබා දෙනවා.

·  දේශපාලන බලපෑමෙන් තොරව රජයේ සේවයක් ඇති කරනවා

· නිදහස් හා සාධාරණ මැතිවරණයකට උපකාරීවන්නැයි ලෙස ත්‍රිවිධ හමුදාවෙන් හා පොලීසියෙන්  ආයාචනය කරනවා.එසේ කරන ත්‍රිවිද හමුදාපතිට හා පොලිස්පතිට අපේ ආණ්ඩුව යටතේ සියළු ආරක්ෂාව සපයනවා.

·  අද සැබෑ මාධ්‍ය නිදහසක් නෑ,මාධ්‍යවේදීන්ට තුටු පඩුරු දෙනවා ජනමතය වෙනස් කිරීමට බලපෑම් කරනවා,නිදහස් මාධ්‍ය වළදමා තිබෙනවා. අපේ රජය යටතේ සෑබෑ මාධ්‍ය නිදහසක් ඇති කරනවා.

·  දුෂණ මැතිවරණ ක්‍රමය වෙනස් කරනවා.

·  ස්වාධීන කොමිෂන් සභා නීතීගත කරන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා 17 වැනි සංශෝදනය නැවත ඇති කරනවා.

·  රට විනාශ මුඛයට ඇද දැමු 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කරනවා.

· අතුරලියේ රතන හිමියන් මාදුළුවාවේ සෝහිත නාහිමියන් පොදු අපේක්ෂකයකු  වෙනුවෙන් කළ මෙහෙයුම අති උදාරයි.රතන හිමියන් හරියට කුඩහාපොළ හිමියන් යළි ඉපඳුණා වගේයි.

· එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාද හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද සෙසු සහෝදර පක්ෂ නායකයින්ද හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා  මහතාගේ සහායද අති විශිෂ්ඨයි.

·  ජනතා පැතුම් ඉටු කරිමට සියලු තර්ජන මැද්දේ මම ඉදිරිපත් වෙනවා.මගේ බිරිය හා දරුවන් ඒ සඳහා මට ආශිර්වාදය දුන්නා.

‘තාත්තා ඕනෑම තීන්දුවක් ගන්න අපි මැරෙන්න වුණත් ලෑස්තියි‘ ‘යනුවෙන් බිරියත් දරුවනුත් මට කිව්වා.‘

·  සිගරට් පැකැට්ටුවේ සෞඛ්‍ය අවවාදය ඇති කරන්න මට අවුරුදු දෙක හමාරකින්වත් බැරි වුණා.

·  ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ඇති කරන්නත් බැරි වුණා.ඒ උත්සාහයේදී මරණ තර්ජන එල්ල වුණා'


 

එක් පවුලකට රට බාර දී බලාගෙන ඉන්න බෑ -චන්ද්‍රිකා

2014 නොවැම්බර් මස 21 17:18:13 | . , සජීව විජේවීර,තරිදු ජයවර්ධන,අකිල බද්දෙවිතාන,මුදිතා දයානන්ද

 

‘මාදුළුවාවේ සෝභිත හිමි,අතුරලියේ රතන හිමි,එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා ඇතුළු තවත් බෝහෝ දෙනා එකතු වී සාධාරණ නීතී ගරුක රටක් ඇති කිරීමට  සුදානම් වෙනවා‘ යැයි හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය කොළඹ නවනගර ශාලාවේදී   අද (21) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී පැවසුවාය.

කුමාරතුංග මහත්මිය මෙසේද කීවාය.

මට යළි මගේ දේශපාලන මහ ගෙදරට එන්න අවස්ථාව ලැබීම ගැන මා සතුටු වෙනවා. ජනාධිපති පුටුවේ මහින්ද රාජපක්ෂ මැතිතුමා වාඩි වුණාට පසු හුඟ දෙනකුගේ සහභාගීත්වයෙන් මා පක්ෂයේ සභාපතිත්වයෙන් යැව්වේ ඔබතුමාට එය නිල වශයෙන් භාර දෙන්න අවස්ථාව දෙන්න කියා මා ඉල්ලද්දී එ අවස්ථාව වත් නොදී.

නමුත් නීති විරෝධී දේ කරමින් කැත වැඩ කරමින් සිටිය දී මා බොහෝ කාලයක් නිහඩව බලා සිටියා. මා මේ නිහඬ බව රකිමන් සිටියත් යළි දේශපාලන කටයුතු වලට සම්බන්ධ වෙන්න මා තීරණය කළා. ඒ කළේ මට සිදුකළ වද හිංසා හා කෙනෙහිළිකම් නිසා නොවෙයි. සාමාන්‍ය පුද්ගලයකුට දරා ගත නොහැකි තරම් වද හිංසා මට සිදුවුණා. ඒවා එකිනෙක කියන්න මට ලැජ්ජයි.

නමුත් මා මෙතැනට ආවේ අපේ රට වැටී තිබෙන ආගාධයෙන් රට ගොඩගැනීමට අපේ පක්ෂය වැටී තිබෙන ආගාධයෙන් පක්ෂය ගොඩනැගීමට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන නැවත නැවතත් කිව යුතු නැහැ. මේ පක්ෂයේ නායකයන් වුණේ තම සියළු දේ කැප කරමින් ජනතාව වෙනුවෙන් සටන් කරපු ජනතාව වෙනුවෙන් කැපවූ අය. මෙය ජනතාවගේ පක්ෂයක්. ජනතාවගේ නායකයන් හිටියේ. නමුත් ජනතා පුත්‍රයන්ට තැනක් තිබුණු පක්ෂයක්. තමන්ගේ අයට හැදෙන්න වැඩෙන්න ජනතාවගේ මුදල් කෝටි ගණනින් හොරකම් කරන්න ඉඩ දීපු පක්ෂයක් නොවෙයි.

නමුත් දැන් සිදුවන්නේ යුද්ධයේ නාමයෙන් රටේ සියළු සම්පත් සූරාකමින්, රටේ ජනතාවගේ සම්පත් සූරාකමින් හොරකම් කරමින් රජයේ සේවකයන්ගේ පටි වැඩි නොකර ජනතාවගේ සල්ලි හා දේපල සූරාකමින් ගෙන ගිය පාලනයක් බවට පත්වෙලා.

දුප්පත් මිනිසුන්ට කන්න නැතිව සිටිය දී නීතියේ අධිපත්‍යය සම්පූර්ණයෙන් ම කඩා දමලා මිනී මැරුම්, දූෂණය අද රජ කරලා. ඒවාට විරුද්ධව කටයුතු කරන අයට දඩුවම් කරනවා. අහක බලාගෙන ඉන්න අයට උසස් වීම් දෙනවා. නීති තීන්දු ගන්නේ ටෙලිෆෝන් එකෙන්. විනිශ්චයකාර වරයකුට කවදාවත් නියෝග නොදුන් රාජ්‍ය නායිකාවක් ලෙස මා කියනවා මේ තත්ත්වය ඉතා භයානකයි කියා.

අපි ව්‍යවස්ථා සංශෝධන පාර්ලිමේන්තුවට ගෙනාවා. ස්වාධීන කොමිසම් සභා ගෙනාපු මේ සංශෝදන අද විසිකරලා. කිසිම පාලනයක් නැතිව රාජ්‍ය පාලකයන් විවිධ අසත්‍ය ප්‍රකාශ කරමින් රජය ගෙන යනවා. කාටවත් විරුද්ධ වීමේ අයිතියක් නෑ. විරුද්ධ වුණොත් සුදු වෑන් එක ඇවිත් අතුරුදන් කරනවා. නැත්නම් පාරේ මරා දමනවා.

මා ගැන මා කතා කරන්නේ නැහැ. අපි අපේ ව්‍යාපාරය ගැන කතා කරනවා. මා දිගුකලක් මේවා ගැන බලා සිටියා. මට ගොඩක් ඉල්ලීම් ආවා. පොදු අපේක්ෂිකාව වන්න කියා. මා පැහැදිලි තීන්දුවක් ගත්තා මට බලයට පෙරේත කමක් නැහැ. අපේ පක්ෂයේ අය කිව්වා මැඩම් මේ ව්‍යවස්ථාවට සංශෝදනයක් ගෙනත් ඉන්න කියලා. මම ඒ ඉල්ලීම් විසි කරලා ගියේ. නැවත මට එන්න අවශ්‍ය නැහැ. නමුත් දේශපාලන වශයෙන් රට හදන්න ඉදිරිපත් වන මේ කණ්ඩායමට උදව් නොකර සිටීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන්ට සහයෝගය නොදී සිටීම ද්‍රෝහී කමක් කියා මා සිතනවා. අවශ්‍ය උදව්ව කරලා රට ගොඩනගන්න මා පැත්තක සිට උදව් කරනවා. මේ අය ගැන මා වචනයක් කිව යුතුයි.

අද දේශපාලන ක්ෂේත්‍රය විනාශ වෙලා. අපි දේශපානයට ආපු කාලේ රට ගැන කැක්කුමක් ඇතිව දේශපාලනය ආපු විශාල පිරිසක් හිටියා. ඔවුන් කිව්වේ අපි රට වෙනුවෙන් මොනවා හෝ කළ යුතුයි කියා. නමුත් අද නව දේශපාලන සංස්කෘතියක් අද ඉදිරිපත් වෙලා. හොරකම් කරපල්ලා මිනී මරපල්ලා එවිට ඕනෑ තරම් කාලයක් ඉන්න පුළුවන් කියන සංස්කෘතියක්. ඒක පාස්පෝර්ට් එකක්. නමුත් මේ විවිධ වරප්‍රසාද මැති අමැතිකම්, වාහන, අමාත්‍යාංශ, කාර්ය මණ්ඩ සියල්ල අහිමවන බව දැන දැන මේ නායකයන් මෙවැනි තීරණයක් ගැනීම ඉතා ශ්‍රේෂ්ඨ දෙයක්. මේ වගේ යුග පුරුෂයන් ඉන්නවා යැයි දැන ගැනීම අපිට ආඩම්බර විය හැකි දෙයක්.

මා සම්පූර්ණයෙන් ම කළ කිරීලා. දේශපාලන ඩයස්පෝරාවෙන් ඉවත්වෙලා හිටියේ. නමුත් මේ වගේ කොටසක් ඒ ඩයස්පෝරාවෙන් ඉවත්වෙලා සත්‍ය වෙනුවෙන් යුක්තිය වෙනුවෙන් ඉදිරිපත් වීම අපි සියළු දෙනාටම ලාංකීයයන්ට හොඳ අවස්ථාවක්. මේ ගැන ගැඹුරට හිත