මෛත්‍රී පවුල් රුකේ නොනගින බව කියයි


‘පසුගිය ජනාධිපතිවරණයේ දී කතා කළා ඥාතීන්ට සලකන පවුල් වනාන්තරයක් පිළිබඳව. මං ඒකට නැති කෙනෙක්. පවුල් ගස් සහ පවුල් වනාන්තර මම හදන්නේ නැති කෙනෙක්. මට එහෙම හදනවා නම් ජනාධිපති වෙන්න කළින් අවුරුදු 25ක් පාර්ලිමේන්තුවේ හිටපු කාලේ, මැති ඇමැතිකම් කරපු කාලේ හදන්න තිබුණා.‘ යැයි මෛත්‍රීපාල සිරිසේන ජනපති පැවසීය.

ජනපති කුඩා කළ හැදුණු වැඩුණු ගම්පහ පහළ යාගොඩ පන්සලේ නව දහම් පාසල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමින් ඔහු එසේ කීවේය. සිරිසේන මහතා කුඩා අවධියේ දහම් පාසල් ගියේ ද එම විහාරස්ථානයේ ය.

සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස තේරී පත් වූ පසු ඔහු ජයග්‍රහණය කර වීමට ඉදිරියෙන්ම කටයුතු කළ පිළිකුත්තුව රාජ මහා විහාරාධිපති යක්කඩුවේ රාහුල හිමියෝ මේ උද්සවය සංවිධානය කළහ.

ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා ඇතුළු පිරිසක් ද ඊට එක්ව සිටියහ.

‘අවුරුදු අට නවය වයසේ සේපාලිකා මිදුලේ තිබුණු සේපාලිගා ගහේ මල් ඇහිඳගෙන මේ පන්සලට ඇවිත් පූජා කළා මට මතකයි. යාගොඩ දුම්රිය නැවතුම්පොළට පයින් ගිය ආකාරය, පාරවල්වල ඇවිදපු ආකාරය, ගමේ ඥාතීන් මට තවම මතකයි.

මා ජනාධිපතිවෙලා පළමු සතියේ මට උදව් උපකාර කළ ස්වාමීන් වහන්සේලා කිහිප නමක් ඇවිත් කිව්වා සම්බන්ධීකරණ ලේකම්වරුන් ලෙස පත්කරන්න කියලා. මං එක හෙළාම කිව්වා ස්වාමීන් වහන්සේලා මගේ ලේකම්වරුන් ලෙස පත් නොකරන බව. මගේ කාර්ය මණ්ඩලයේ වැඩ කරන්න ස්වාමීන්වහන්සේලා බඳවා ගන්න එපා කියා මා උපදෙස් දුන්නා. බෞද්ධ දර්ශනයේ චිරස්තිතිය පිනිස ස්වාමීන් වහන්සේලා ජනාධිපතිට උපදෙස් දෙන උපදේශන මණ්ඩලයක් සකස් කළ යුතුයි. පඩි ගෙවා, වාහන ලබා දී කරන දෙයක් නොවෙයි. එය ස්වේච්ඡාවෙන් කරන දෙයක්. ත්‍රෛනිකායික ස්වාමීන් වහන්සේලා ඊට ඇතුළත් විය යුතුයි. ‘

(වීඩියෝ ගයාන් මධුසංඛ)

_DSC0025 _DSC0045 _DSC0069 _DSC0974 _DSC1003