මේස් දෙකෙන් සාක්කුවෙන් 67 ලක්ෂයක රන් එළියට


රුපියල් හැට ලක්ෂ හැත්තෑ දහසක් වටිනා රත්තරන් බිස්කට් දහයක් සපත්තු මේස් ඇතුලේ ද,  නිම නොකළ රන්  මාලයක් කලිසම් සාක්කුවේ සඟවාගෙන  ඩුබායි සිට මෙරටට පැමිණි ඉන්දියා ජාතික තරුණයෙක්  බණ්ඩාරනායක  ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අද  අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.

සැකකරු 27  වියේ පසුවන දකුනු ඉන්දියානු පදිංචිව සිටි පුද්ගලයෙකි. ඔහු මෙරට නේවාසික වීසා ලබා ගෙන දැනට පානදුරේ ප්‍රදේශයේ  පදිංචිව සිටින අයෙකු බව රේගුව කියයි.

ඔහු මසකට තුන් හතර වතාවත් ශ්‍රී ලංකාව හා ඩුබායි අතර යාම් ඊම් කර ඇති බව රේගුව කියයි.

අත් අඩංගුවට ගනු ලැබු රත්තරන් බිස්කට් වල බර කිලෝග්‍රෑම් එකක් වු අතර රන් මාලයේ බර  ග්‍රෑම් තුන්සිය හතලිහකිි.

සැකකරු  එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ 349 දරණ ගුවන් යානයෙන් ඩුබායි සිට මෙරටට පැමිණ රේගුවට භාන්ඩ කිසිවක් ප්‍රකාශ කිරීමට නැති මගීන්ගේ මාර්ගය ඔස්සේ පැමිණ රේගු පරිශ්‍රයෙන් පිටවීමට යත්ම  රේගු නිලධාරීන් විසින් පරික්ෂා කිරීමේදී මෙම රත්තරන් සොයාගෙන ඇත.

ඔහු පැළඳ සිටි සපත්තු වල මේස් ඇතුලත බිස්කට් පහ බැගින් දහයක් දමා තිබූ බව රේගුව කියයි. ඔහුගේ සාක්කුවේ තිබී සොයාගත් රන් මාලය උණු කොට සාදා ඇති බව රේගුව කියයි.

මේ පිළිබඳ විමර්ශණ කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක ඒ.කේ.එන් වික්‍රමසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක නන්දසිරි වාසලතිලක මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරී තිස්ස ප්‍රියන්ත ද සිල්වා සහ සහකාර රේගු අධිකාරීවරුන් වන ඩබ්ලිව්.එම් ප්‍රේමජයන්ත, සාගර කුමාර සහ සිසිර පෙරේරා යන නිලධාරීහු සිදු කරති.

 1 2