මේසපන්දු ශූර චලිත රංජනගෙන් ක‍්‍රීඩා අමාත්‍යංශයට පැමිණිල්ලක්


ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ උනන්දුවක් නොමැතිවීමෙන් ඉන්දියාවේදී දැන් පැවැත්වෙන 53 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය මේසපන්දු තරගාවලිය තමන්ට අහිමිවූයේ යැයි මේසපන්දු ශූර චලිත රංජන ක‍්‍රීඩා අමාත්‍යංශයට පැමිණි කර තිබේ. ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පවත්වන ලෙසත් ඔහු ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් රංජනී ජයකොඩි මහත්මියගෙන් ඉල්ලීමක් කර තිබේ.

මෙම ක‍්‍රීඩකයා ප‍්‍රංශයේ පැවැත්වෙන ලෝක මේසපන්දු තරගාවලියට ද සුදුසුකම් ලබා සිටියි. චලිත 2004 වසරේ මැලේසියාවේදී පැවැති පොදු රාජ්‍ය මණ්ඩලයීය මේසපන්දු තරගාවලියේදී ලෝක පදක්කමක් දිනාගත් අතර එය මේ දක්වා ශ්‍රී ලංකාව මේසපන්දු ක‍්‍රීඩාවෙන් දිනාගත් ඉහළම ජයග‍්‍රහණය ද වේ.

අනුග‍්‍රහකයකු නොමැතිවීමෙන් පොදු රාජ්‍ය මණ්ඩලයීය තරගාවලියට තමන්ගේ සහභාගිත්වය පිළිබඳව ගැටළු මතුව තිබුණත් පසුගිය අපේ‍්‍රල් 26 වැනිදා වන විට අනුග‍්‍රහකයකු සොයා ගැනීමට තමන්ට හැකි වූ බවත් එහෙත් මේසපන්දු සංගමයේ ඇතැම් නිලධාරීන්ගේ උදාසීනත්වය නිසා තමන්ට තරග සංචාරය අහිමිවූ බවත් චලිත රංජන චෝදනා කරයි.

සෙලාන් බැංකුව නියෝජනය කරන චලිත වසර 4 ක් ජාතික ශූරයා බවට පත්වූ අතර වසර කීපයක්ම ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ රැුදී සිටියේය.

මේ පිළිබඳව ‘ලංකාදීප’යට අදහස් දැක්වූ චලිත රංජන පැවසුවේ අනුග‍්‍රහකයකු නොමැතිවීමෙන් තමන් අපහසුතාවට පත්ව සිටි අවස්ථාවේදී සෙලාන් බැංකුව අනුග‍්‍රහය ලබාදීමට ඉදිරිපත් වූ බවත් මේසපන්දු සංගමයට ඒ ගැන දැනුම් දුන් පසු දැන් ප‍්‍රමාද වැඩි යැයි සංගමය තමන්ට දැනුම් දුන් බවයි.

තමන්ට එම තරගාවලිය සදහා සහභාගිවීමේ අවස්ථාව ලබාදීමට හැකියාව තිබියදී මේසපන්දු සංගමයේ අතපසුවීමෙන් එය වැලකී ගියේද යන්න පිළිබඳව පරීක්‍ෂණයක් පවත්වන ලෙස එම ලිපියෙන් වැඩි දුරටත් ඉල්ලා තිබේ.

ශ්‍රී ලංකා මේසපන්දු සංගමය ඔහුට යොමු කර ඇති ලිපියේ සඳහන් වන්නේ අයදුම්පත් බාර ගැනීම අපේ‍්‍රල් මස 17 වැනිදා අවසන් වූ බවත් තරගාවලියේ නීති රීතිවලට පරිබාහිරව කටයුතු කළ නොහැකි බවත්ය.
මේ පිළිබඳව ‘ලංකාදීප’ කළ විමසුමකදී ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ ලේකම් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ අදාල ක‍්‍රීඩකයාට මේ සඳහා කාලය ලබාදුන්න ද ඔහු සභාගිත්වය ස්ථිර නොකළ බවය.

මෙම තරගාවලි දෙක සඳහා සහභාගි වන සියලූම ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් පෞද්ගලිකව වියදම් සපයාගත යුතු බව ශ්‍රී ලංකා මේසපන්දු සංගමය දන්වා තිබූ අතර ඉන්දීය සංචාරය සඳහා රුපියල් 135,000 ක් ද, ප‍්‍රංශ සංචාරයට රුපියල් 440,000 ක් ද, අවශ්‍ය වන බව මේසපන්දු සංගමය ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් දැනුවත් කර තිබූ බව වාර්තා වේ.
මෙම තරගාවලියට සහභාගි වීමට සුදුසුකම් ලබාසිටි ක‍්‍රීඩිකාවන් දෙදෙනකු ද මුදල් නොමැති වීමෙන් තරගාවලිය අහිමි වූහ.