නෙහාරා සහ මේනක විවාහයෙන් පසුව පුවත්පත් පිළිසඳරවලට එක්වූයේ නැති තරම්ය. එහෙත් ඒ නිහඬතාවය බිඳ හැර නෙහාරා සඳැල්ල සමග කතා බහකට එක් වූයේ මෙලෙසිනි. ඇයගේ ජීවිතයේ වෙනසක් වෙන්නත් යනවලූ. මොකක්ද මේ වෙන්න යන වෙනස? මේ දෙදෙනාම ක‍්‍රියා කාරී දේශපාලනයට පිවිසෙන්න ද? මේ සූදානම් වන්නෙ? නෙහාර ඒ සියල්ල ගැන සඳැල්ලට කීවේ මෙලෙසිනි.
නෙහාරා අද දවසේ වැඩ කටයුතු කොහොම ද?
නිහාල් ප‍්‍රනාන්දු මහතාගේ නවතම ටෙලිනාට්‍යයේ රූගත කිරීම්වලට දායක වෙනවා. එය 1920 ගණන්වලට අයත් වූ කතාවක් පදනම් කරගෙන කරන නිර්මාණයක්. ඒත් එක්කම මෙවර ‘‘රිදී රැයක්’’ රියසල්වලට දායක වෙනවා. සිරස ප්ලැටිනම් එවෝඞ් එකටත් රියසල් කරනවා. ඒ ඔක්කෝටම අමතරව දෙරණ ටී පාටි සහ මල්බර දෙරණ වැඩ සටහන්වලට නිවේදනයෙන් දායක වෙනවා.
ඇත්තටම අපට විවේකයක් ඕනෑ වුණා. ඉතින් අපි සති තුනක විතර කාලයක් ඩුබායිහි සංචාරයේ නිරතව හිටියා.
කොහොම ද විවාහයෙන් පසු ජීවිතය? ඒ ගැන හිතෙන්නෙ කොහොමද?
ඉතාම සතුටින්, ඒත් කාර්ය බහුලව ගෙවුනු බව කියන්න පුළුවනි.
තිරයේදී මේනක ඔබගෙ පෙම්වතා වුණා. සැබෑ ජිවිතයේ දී සැමියකු ලෙස ඔහුගේ භූමිකාව මොන වගේ ද?
සැමියකු ලෙස බොහෝම වගකීමක් ඇතිව ජීවත්වන කෙනෙක්. ඕනෑම දෙයක් ගැන බොහොම ලෙංගතුව කතා කළ හැකි චරිතයක්. නළුවකුගෙ චරිතය ඔහු ගෙදර දී කරන්නෙ නැහැ. බෙහෙවින්ම සාමාන්‍ය සරල චරිතයක්. එයාට මා කෙරෙහි ලොකු තේරුම් ගැනීමක් තියෙන්නෙ. හරිම ලෙහෙසියි ඒ වගේ කෙනෙක් එක්ක ජීවත් වෙන්න.
ඔහු කරන්නන් වාලේ කිසිවක් කරන්නෙ නැහැ. හැම දෙයක්ම මා එක්ක සාකච්ඡුා කරලා තමයි තීරණ ගන්නෙ. අපි දෙදෙනා අතරේ ඉතා හොඳ අවබෝධයක් තිබෙනවා.
ගෙදර වැඩට උදව් කරන්න හරිම ආසයි. මොන විදියකින් හෝ සහයෝගය දෙන්න අහනවා. අඩු තරමින් ලූණු ගෙඩියක් හෝ සුද්ද කරලා දෙන්න ද කියලාවත් ඒත් මම ඒකට කැමති නැහැ.
මට ඕනෑ කරන්නෙ ගෙදර ගෘහණියක ලෙස මගෙන් ඉටුවිය යුතු සියලූ දේ එයා වෙනුවෙන් කරලා දෙන්නයි.
හොඳ රසට උයන්න පුළුවන් කියලා හිතනවා.
නෙහාර ස්පෙෂල් වට්ටෝරුවක් ගැන සඳැල්ල පාඨකයන්ට කිව්වොත්?
අපි රස චිකන් කරියක් හදමු. ඒකට අවශ්‍ය ප‍්‍රමාණයට චිකන් (ස්කින්ලස්) කෑලි කපලා. එකට තුනපහ, වතුර, ලූණු, මිරිස් කහ සෝයා සෝස් ගල්වා විනාඩි 20ක් විතර පදම්වෙන්න තියන්න. අමතරව සුදුළුණු, ඉඟුරු, කරපිංචා, සියඹළා සියල්ල පිළියෙල කර තබා ගන්න. පසුව ඒවා තෙම්පරාදුකර පොල්කිරි සහ වතුර ස්වල්පයක් යොදා චිකන් මිශ‍්‍රණය ලිප තබා පිසගන්න.
ඔබ ගෙදර වැඩ කරන අතරේ මේනක මොනවද කරන්නෙ ?
අපි දෙන්නට පැරණි ගීත අහන්න හරි ආසයි. ඉතින් ඒවා අහනවා. චිත‍්‍රපට නැරඹීමත් බහුලව සිදු වෙනවා
ඉස්සර කතාවක් තිබුණා. ඔබ එක්ක හැර මේනකට වෙනත් නිළියන් එක්ක රඟපාන්න දෙන්න නැහැ කියන එක ගැන?
ඒ ප‍්‍රශ්නය ඇසීම ගැන මගේ ස්තුතිය. එහෙම කිසිම වර්ග කිරීමක් තිබුණේ නැහැ. තහංචියක් තිබුණෙත් නැහැ. එක කාලයක අපි දෙන්නා ගැන කතා කළ අවස්ථා තිබුණා. ඒ අපි එකට රගපෑ නිසා. නමුත් මේනක සහ මා අතර එවැනි ප‍්‍රශ්න නැහැ. ඔහු මගේ සැබෑ පෙම්වතා සහ සැමියා. සැබෑ ජීවිතයේ දී එයා අයිති මටයි.
ඔබ අධ්‍යක්‍ෂවරියක් නම්, ඒ නිර්මාණයෙහි පෙම්වතාගේ චරිතය රඟපාන්නෙ මේනක නම්? ඔහුට පෙම්වතිය ලෙස ඔබ යෝජනා කරන්නෙ කවුද?
මමම තමයි. ඔහුට වඩාත් ගැලපෙන පෙම්වතිය මමම තමයි.
ඒ කියන්නෙ යටිහිත කැමති නැද් ද? වෙන කෙනෙක් පෙම්වතිය වෙනවට?
මම අධ්‍යක්‍ෂිකාව නිසාත්, ඒ නිර්මාණය වඩා සාර්ථක වන්න අපි දෙන්නාගෙ පෑහීම නිසා එය වඩාත් සාර්ථක වේවි. මේනක, සුජානි අක්කා, කාංචනා, හිමාලි අක්කලා එක්ක වගේම මහේෂි දක්වා බොහෝ දෙනා එක්ක රඟපාලා තියෙනවා.
ඔබ ඔහු වෙතින් දකින ගුණාංග මොනව ද?
අසාධාරණයට බොහෝම විරුද්ධ කෙනෙක්. ඕනෑම අසාධාරණයක දී කෙලින් කතා කරන කෙනෙක්. සැමියකු ලෙස මට උපරිම ආරක්ෂාවක් වගේම උපරිම ගෞරවයක් දෙන කෙනෙක්. ඇත්තටම හරි යුතුකම් වගකීම් දන්න කෙනෙක්. කෙටියෙන්ම කිව්වොත් අසාධාරණයට කතා කරන්න තරම් කොන්ද පණ තියෙන නියම පිරිමියෙක්.
ඒ වගේ අය තමයි සුදුසු. ඒත් නැත්තෙත් ඒ වගේ අයනේ.
ඔහුට දේශපාලනයට ආරාධනා ලැබුණ ලූ නේද?
මේනකටයි - මටයි දෙන්නටම ආරාධනා නම් ලැබුණා. ඒත් අපි ප‍්‍රතික්ෂේප කළා.
කොහොම වුණත් ජීවිතයේ වෙනසක් වෙන්න යනවලූ නේද?
ජීවිතය ගැන කතා කළොත් අත්දැකීම් රාශියක් සමග ගලා යන දෙයක්. සෑම තීරණයක්ම ගන්න ඕනෑ දෙතුන් පාරක් ඒ ගැන හිතලයි. මේනකට සහ මට ඒ ගැන අත්දැකීම් තියෙනවා. ඒ නිසා අපි ජීවිතය ගැන සුළු පටුවට හිතන්නෙ නැහැ. ජීවිතයේ අරුත අපි දන්නවා. සමාජයට හෙට දවසේ වඩා යහපත් දේ කිරීම අපේ අරමුණයි.





