මේ ශී‍්‍ර ලංකා කණ්ඩායමේ අවස්ථාවද ?


ඉන්දීය පිල හමුවේ පරාජයන් වැලකට මුහුණ දී සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායම එංගලන්තයේ කාඞීෆ් නුවරදී හෙට (20 වැනිදා) පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන අවසන් පූර්ව තරගයේදී තමන් ඉදිරියේ ඇති අභියෝගය මැනවින් වටහාගෙන සිටී. එබැවින් අතීතය අමතක කළ ශී‍්‍ර ලංකා කණ්ඩායම අද තරගය දෙස බලන්නේ සුභවාදී ආකල්පයකිනි.

වසර 38 ක් පුරා දිවෙන ඉන්දු - ශී‍්‍ර ලංකා එක්දින තරග ඉතිහාසය ආරම්භ වන්නේ 1975 පෘඩෙන්ෂල් ලෝක කුසලාන තරගාවලියෙනි. 1975 ජූනි 16 වැනිදා, මැන්චෙස්ටර් නුවරදී පැවැති මුල්ම තරගයේදී, එවකට ටෙස්ට් වරම් නොතිබූ ශී‍්‍ර ලංකා කණ්ඩායම විසින් ඉන්දීය පිල පරාජය කිරීමට සමත් වූ නමුත් දෙරට අතර මෙතෙක් පැවැති එක්දින තරග 139 න් තරග 75 ක ජය හිමිවී ඇත්තේ ඉන්දීය කණ්ඩායමටයි. ශී‍්‍ර ලංකා පිල ජයගෙන ඇත්තේ තරග 52 ක් පමණි.

වසර 2011 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයේදීත් ඉන්දියාව හමුවේ පරාජය වූ ශී‍්‍ර ලංකා කණ්ඩායම පසුගිය වසරේ ශී‍්‍ර ලංකාවේදී පැවැති තරග 5 කින් යුත් එක්දින තරගාවලියද 4-1 ක් ලෙසින් පරාජය විය. අනතුරුව මෙම ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී සහභාගි වූ පෙරහුරු තරගයේදීද ශී‍්‍ර ලංකා පිල ඉන්දියාව හමුවේ පරාජය විය.

ඉන්දියාව හමුවේ එක දිගට එක්දින තරග 4 ක් පරාජය වී තිබෙන නමුත් මහේල ජයවර්ධන පවසන්නේ ඒ සියල්ලම අතීතයක් පමණක් බවයි. එසේ නම් මහේලගේ අදහස වන්නේ ශූරයන්ගේ කුසලාන තරගාවලියේ හෙට පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගය ශී‍්‍ර ලංකා කණ්ඩායම ජයගැනීමේ අවස්ථාව බවද?

කි‍්‍රකට් කී‍්‍රඩාවේ සාමාන්‍ය ස්වභාවය අනුව යම් දෙයක් එක දිගට සිදුවීමේ සීමාවක් මෙන්ම කිසියම් අනුපාතයක්ද තිබේ. එය තරංගයක් මෙන් ඉහළ පහළ යන්නකි. පිතිකරුවකුගේ සහ පන්දු යවන්නකුගේ සාර්ථකත්වයට මෙන්ම කණ්ඩායමක සාර්ථකත්වයටද මෙම න්‍යාය එකසේ බලපාන්නකි.

2011 ලෝක කුසලාන අවසන් මහ තරගයට සහභාගි වූ ඉන්දීය කී‍්‍රඩකයන් අතුරින් හෙට තරගයට සහභාගි වන්නේ නායක මහේන්ද්‍ර සිං දෝනි, සුරේෂ් රයිනා සහ විරාට් කෝලි යන තිදෙනා පමණි. සෙසු කී‍්‍රඩකයන් සියලූ දෙනාම නවකයෝ වෙති.

කණ්ඩායමේ බහුතරය නවකයන් වුවද මෙවර ශූරයන්ගේ කුසලාන තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම වන්නේද ඉන්දීය පිලයි. මූලික වටයේදී දකුණු අපි‍්‍රකාව, පාකිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් පරාජය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ඉන්දීය පිල සමත් විය.

කෙසේ වෙතත් වේග පන්දු යවන කී‍්‍රඩක ලසිත් මාලිංග කෙරේ ශී‍්‍ර ලංකා පිල මහත් විශ්වාසයෙන් පසුවෙයි. පළමු වටයේ තරග 3 කදී ලකුණු 152 කට කඩුලූ 7 ක් දවාගෙන සිටින මාලිංගට  ඕනෑම අවස්ථාවකදී තරගයක් කණපිට පෙරළීමේ හැකියාව තිබේ. නුවන් කුලසේකර මෙන්ම රංගන හේරත්ද පළපුරුදු පන්දු යවන්නෝ වෙති.

ඕස්ටේ‍්‍රලියානු පිලේ පුහුණුකරු මිකී ආතර් මහතා පවසන පරිදි සීමිත  ඕවර තරගයක අවසන්  ඕවර කිහිපය යැවීමට ලෝකයේ සිටින හොඳම පන්දු යවන්නාද ලසිත් මාලිංගය.
”අපි ඉතාමත් දැඩි තරගයක නිරතවෙලා ඉන්නේ. ඒත් ඒ කී‍්‍රඩාව කෙරේ ඇල්මක් ඇතිවයි......පසුගිය කාලයේදී අප ලබාගත් සාර්ථකත්වයේ රහසද එයයි. මා හිතන්නේ අප ඉදිරියටත් එසේම ඉඳීවි” යයි එක්දින ලකුණු 11,000 කඩයිම පසුකර සිටින මහේල ජයවර්ධන ඒ. එෆ්. පී. පුවත් සේවයට පවසා තිබිණ.

අයි. පී. එල්. තරගාවලියේ තරග අවස්ථා පාවාදීම සම්බන්ධයෙන් දැඩි කළකිරීමට පත්ව සිටි ඉන්දීය කි‍්‍රකට් ලෝලීන්ට ඉන්දීය කණ්ඩායමේ සාර්ථකත්වය මහත් පී‍්‍රතියට කරුණක් වී තිබේ. කි‍්‍රකට් කී‍්‍රඩාව සම්බන්ධ අභ්‍යන්තර ප‍්‍රශ්න තිබෙන නමුත් ඉන්දීය පිල සතුව හොඳ කී‍්‍රඩක පිරිසක් සිටිති.

”මේ අනාගතයේ කණ්ඩායමයි. ඔවුන් දැන් නිරතව ඉන්නේ නිර්භය කී‍්‍රඩා රටාවකයි” යයි 1983 දී ඉන්දීය පිලට ලෝක කුසලාන දිනා දුන් කපිල් දේව් ඒ. එෆ්. පී. පුවත් සේවයට පවසා තිබිණ.
”තවත් තරග දෙකක් තියෙනවා. ඒ තරග දෙකත් කලින් පැවැති තරග වල විදිහටම කී‍්‍රඩා කරන්න අපට සිදුවෙනවා” යයි වඩාත් තැන්පත් නායකයකු වන මහේන්ද්‍ර සිං දෝනි පවසයි.

කෙසේ වෙතත් මෙම තරගයට බාධාවක් වුවහොත් ඒ වර්ෂාවයි. කාඞීෆ් නුවර පවතින වර්ෂාව නිසා තරග රැසකටම බාධා ඇතිවූ අතර එංගලන්තය සහ නවසීලන්තය අතර තරගය  ඕවර 24 කට සීමා විය.

කෙසේ වෙතත් හෙට තරගයේදී ලකුණු සමවුවහොත් ජයග‍්‍රාහකයා තෝරා ගැනීම සඳහා ‘සුපිරි  ඕවරයක්’ යැවීමේ අවස්ථාවක් පවතී. එහෙත් වර්ෂාව නිසා තරගය අතහැර දැමීමට සිදුවුවහොත් පළමු වටයේදී වැඩි තරග සංඛ්‍යාවක් ජයගැනීමේ පදනම මත ඉන්දීය පිල අවසන් මහ තරගයට සුදුසුකම් ලබනු ඇත.