මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් නුවරඑළියේ පාරවල් හදන්න


(අංජුල මහික වීරරත්න)

නුවරඑළිය දිස්ත්‍රික්කයේ හානියට පත් මාර්ග සහ බෝක්කු, පැති බැමි වල ප්‍රතිසංස්කරණ කටයුතු මේ වසර අවසන් වීමට පෙර  අවසන් කිරීමට  පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 

ප්‍රතිසංස්කරණය කටයුතු වලට අදාල ප්‍රතිපාදන කඩිනමින් ලබා දීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා එහිදී කීය.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ මාර්ග වලට සිදුවී තිබෙන හානිය සොයා බැලීම සහ ඊට ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග  සම්බන්ධව  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඊට අදාළ වගකිව යුතු නිලධාරීන් සමඟ අද (08) පෙරවරුවේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති සාකච්ඡාවේදී මේ කරුණු අනාවරණය විය.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ හානියට පත් සියලුම මාර්ග සහ  ප්‍රතිසංස්කරණය කිරීමට ගත වන කාලය සම්බන්ධව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

ෙසාමාන්‍ය ප්‍රතිංස්කරණ වලින් විවෘත කිරීමට නොහැකිව තිබෙන මාර්ග සම්බන්ධව නිලධාරීන්ගෙන් අදහස් විමසූ ජනාධිපතිවරයා,  මේ සම්බන්ධව වාර්තාවක් ලබා දෙන ලෙසටද නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කළේය.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් මාර්ග සහ පාලම් ඉදිකිරීමේදී ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ වාර්තා සැලකිල්ලට ගත යුතු බවද නිලධාරීහු මෙහිදී පෙන්වා දුන්හ.