මුහුණු පොතේ සාදයක් වටලා 26 ක් අත්අඩංගුවට


(  බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)

මුහුණු පොත ඔස්සේ සංවිධානය කළ  මත්ද්‍රව්‍ය සාදයක් වටලා පෞද්ගලික විශ්ව විද්‍යාලයේ සිසුන් දස දෙනෙකු ඇතුළු 26 දෙනකු පානදුර මහබෙල්ලන නිවාඩු නිකේතනයක්  තුළදී අත්අඩංගුවට ගත් බව අළුබෝමුල්ල පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකාර තරුණයන් 16 කු සන්තකයේ තිබී ගංජා සහ හෑශ් මත්ද්‍රව්‍ය  පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා විට සියලුම සැකකරුවන්  දැඩි මත් ගතියෙන් පසුවූ බව පොලිසිය සඳහන් කරයි.

මහබෙල්ලන තොටුපොල පාරේ නිවාඩු නිකේතනයකට පැමිණි පිරිසක් ඝෝෂාකාරී සංගීතය මධ්‍යයේ කෑ කෝ ගසිමින් හැසිරීම පීඩා ගෙන දෙන්නක් බව පවසමින් අද අලුයම 1.30 ට පමණ 119 පොලිස් හදිසි ඇමතුම්  අංශයට ලද පැමිණිල්ලක් අළුබෝමුල්ල පොලිසිය වෙත යොමු කිරීමෙන් අනතුරුව මෙම වැටලීම සිදු කර තිබේ.