මුහුණු පොතෙන් යාළුවී බදුල්ලේ කතකගේ ලක්ෂ 43 කට විදලා


මුහුණු පොතෙන් යාළු වී උපන් දිනයට රන්බඩු පාර්සලයක් එවන බව පවසා බදුල්ලේ විවාහක කාන්තාවකගේ රුපියල් ලක්ෂ 43ක මුදලක් වංචා කළ බව කියන නයිජිරියා ජාතික 22 හැවිරිදි තරුණයකු බදුල්ල පොලිසිය විසින් පෙරේදා (8) මාලබේ දී අත්අඩංගුවට ගෙන අද (09) පස්සර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහු ලබන 22 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ තැබීමට මහේස්ත‍්‍රාත් රසාංජන ජයසේකර මහතා නියෝග කළේය.

මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරුණේ මාලබේ පෞද්ගලික අධ්‍යාපන ආයතනයක ඉගෙනුම ලබමින් සිටි 22 හැවිරිදි ශිෂ්‍යයකු වන බෙන්සන් ඬේවිඩ් නමැත්තෙකි.

මෙම සිද්ධියේ පැමිණිලිකාරිය බදුල්ල, කනුපැල්ල ප‍්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි කාන්තාවක බවත් ඇයගේ සැමියා විදේශගත වී සිටින බවත් පොලිසිය කියයි.

කාන්තාව මුහුණු පොත (ෆේස්බුක්) හරහා මෙම නයිජීරියා  තරුණයා හඳුනාගෙන ඇති අතර දෙදෙනා වීඩියෝ ඇමතුම් මගින් නිතර සංවාදවල යෙදී දැඩි මිත‍්‍රත්වයක් ඇතිකරගෙන තිබෙන බවත් පරීක්‍ෂණවලදී හෙළි වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

නයිජීරියාවේ රන් බඩු ඉතාමත් හොඳ තත්ත්වයේ ඒවා බවත් ඒවා ලාභ  බැවින් කාන්තාවගේ උපන්දිනයට රන්බඩු කට්ටලයක් ත්‍යාග වශයෙන් ලබාදෙන බවත් තරුණයා ප‍්‍රකාශ කර ඇති අතර කාන්තාවද එයට සිය කැමැත්ත පළකර ඇති බව පොලිසිය සඳහන් කරයි.

ඇය වෙනුවෙන් මිලදී ගත් බව ප‍්‍රකාශ කරමින් තරුණයා මුහුණු පොත ඔස්සේ ඇයට ස්වර්ණාභරණ කට්ටලයක් පෙන්වා මෙම රන්බඩු නයිජීරියාවේ සිට ලංකාවට එවීමට විශාල බදු මුදලක් ගෙවීමට සිදුවන බැවින් ඒ සඳහා තමාට මුදල් අවශ්‍ය බව පවසා ඇතැයි කියති.

ඒ අනුව මෙම කාන්තාවට තරුණයා ලබාදුන් ගිණුම් අංක තුනකට පසුගිය දෙසැම්බර් මස 15-18 අතර කාලය තුළ වරින්වර රුපියල් 43,60,000ක මුදලක් බැරකර ඇතත් තරුණයා ඇගේ උපන්දිනයට තෑගි කිරීමට පොරොන්දු වූ රන් බඩු එවා නොතිබිණි. කාන්තාව මේ පිළිබඳව සොයා බැලීමේදී තරුණයා ඔහුගේ මුහුණ පොතෙන්ද ඇය ඉවත්කර තිබිණියැයි  පැවසේ.

තමන් වංචාකරුවකුට හසු වූ බව දැනගත් කාන්තාව සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල පොලිසියට පැමිණිලි කර ඇත.

එම පැමිණිල්ල අනුව නවීන තාක්‍ෂණය උපයෝගී කරගෙන පරීක්‍ෂණ පවත්වා මෙම තරුණයා මාලබේ ප‍්‍රදේශයේ දී පෙරේදා (8) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මෙම තරුණයා කාන්තාවට මෙසේ වංචාවක් කර ඇත්තේ නයිජියාවේ සිට නොව ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ලබමින් සිටින අවස්ථාවේදී බවද පොලිසිය පවසයි.

සැකකරු ඇයගෙන් රුපියල් ලක්ෂ 43ක මුදලක් වංචා කළ බවට කාන්තාව පැමිණිලි කර තිබුණත් ඔහුගේ බැංකු ගිණුම් පරීක්‍ෂා කිරීමේදී ඒවායේ තිබුණේ රුපියල් ලක්‍ෂ 18ක මුදලක් බව පොලිසිය කියයි.

බදුල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.