මුහුණු පොතෙන් ධනවත් තරුණියන් රැවටු අයෙක් අත්අඩංගුවට


( සිතුම් චතුරංග)


මුහුණු පොතේ දිනුම් ඇදීමකින් ත්‍යාගලාභියකු බවට පත්ව ඇති බව පවසමින් ධනවත් තරුණියන් රවටා මුදල් වංචාකළ පුද්ගලයකු අද (24) වවුනියාව නගරයේදී අත්අඩංගුවටගත් බව වවුනියාව පොලිසිය කියයි.

දිනුම් අවස්ථා හිමිවූ බවට ව්‍යාජ මුහුණුපොත ඔස්සේ වවුනියාව ප‍්‍රදේශයේ තරුණියකගෙන් රුපියල් ලක්ෂ පහ හමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වවුනියාව නොවිසිඳුණු අපරාධ විමර්ශන ඒකකය වෙත ලැබුණ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකදී සැකකරු අත්අඩංගුවටගත් බව පොලිසිය පැවසීය.

සැකකරු විසින් උතුරු පළාතේ සිටින ද්‍රවිඩ තරුණියන් ඉලක්කකර ගනිමින් ව්‍යාජ මුහුණු පොත් ගිණුම් සකසා දිණුම් ඇදීමකින් ජයග‍්‍රහිකාවක් වී ඇති බවට සඳහන් කරමින් ෆේස්බුක් ආයතනයේ එහි ගිණුමකට සමාන ෆේස්බුක් ගිණුමකින් පණිවිඩ එවමින් අදාල තරුණිය රවටා ඇතැයිද කීය.

දිණුම් ඇදීමෙන් ලැබුණ ත්‍යාගය කොළඹ වරායේ සිට නිදහස් කිරීම සඳහා රේගු ගාස්තු හා බදුමුදල් ගෙවීම සඳහා රුපියල් ලක්ෂ පහහමාරක මුදල ඉල්ලා ඇති අතර අදාල තරුණියට ලබාදුන් පෞද්ගලික ගිණුම් අංකයකට එම මුදල් තැන්පත් කරන ලෙසද සැකකරු දැනුම්දී ඇති බව පොලිසිය පැවසීය.

වවුනියාව පොලිසිය වැඩිදුරටත් පවසා සිටියේ අදාල සැකකරු විසින්තරුණියන් කිහිප දෙනකු වෙත එලෙස ව්‍යාජ ෆේස්බුක් ගිණුම් ඔස්සේ ත්‍යාග හිමිවී ඇති බවට සඳහන් කරමින් මුදල් වංචා කොට ඇති බවට තොරතුරු වාර්තාවන බවත්ය.


සැකකරු මන්නාරම , නානාට්ටාන් පදිංචි වයස අවුරුදු 26 තරුණයකු වන අතර වවුනියාව මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.