බිඟුන් මේනක ගමගේ
මුරුංගා කොළ කා ජීවත් වූ පවුලක් ගැන මාධ්‍යවේදී සරත් මනුල මහතා විසින් ලියන ලද පුවතේදී ඔහු හැකි තරම් සත්‍ය වාර්තා කිරීමට උත්සාහ කර ඇතැයි ද රජය ඊට ප්‍රතිචාර දැක් වූ ආකාරය මගින් සිදුවන්නේ තම ප්‍රදේශයන්හි දුෂ්කර ජන ජිවිත පිළිබඳ වාර්තාකරණයෙහි නියැලි සිටින මාධ්‍යවේදීන් ස්වල්ප දෙනා ද පසුබෑමකට ලක්වීම යැයි ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
කන්න හයක් ම පාළුයි, වේල් ගණනක් බත් නැතිව අඹු සැමි යුවළක් මුරුංගා කොළ තම්බාගෙන කාලා මැයෙන් පළ වූ එම පුවතෙන් ප්‍රකාශයට පත් වූයේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙහි ග්‍රාමීය ජනයා මුහුණ දී සිටින දුෂ්කර ජීවිතයේ එක් පැතිකඩක් යැයි එහි සඳහන් වේ.
රජය තම මාධ්‍ය භාවිතා කරමින් මාධ්‍යවේදී සරත් මනුල පදනම් විරහිතව සාවද්‍ය පුවතක් ගොඩනඟා ඇති බවට චෝදනා කළේ යැයි ද එය මාධ්‍යවේදියකුගේ වෘත්තීමය භාවිතය සම්බන්ධයෙන් එල්ල කළ හැකි දරුණුම චෝදනාවක් යැයි ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි.
නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට මෙතෙක් ඒ සම්බන්ධයෙන් ලැබී ඇති තොරතුරු මගින් පැහැදිලි වන්නේ මෙම මාධ්‍යවේදියා හැකිතාක් දුරට ඉහත සිදුවීමෙහි සන්දර්භය මත පිහිටා සත්‍ය වාර්තා කිරීමට උත්සාහ කර ඇති බව යැයි ද ඔහුගේ මෙම වාර්තාකරණය මඟින් ප්‍රකාශිත සමස්ත කතා පුවත වගකිව යුත්තන්ගේ දැඩි අවධානයට ලක් විය යුත්තක් යැයි ද එම නිවේදනයේ සඳහන් වේ.
මෙම ජන ප්‍රජාව මුහුණ දි සිටින දුප්පත්කම සුළු කොට තැකිය නොහැකි බැවින් ඒ පිළිබඳ සමාජ අවධානය යොමු කිරීම මාධ්‍ය වෘත්තියෙහි වගකීමක් වුවද එය නොතකා මාධ්‍යවේදියාට එරෙහි ප්‍රහාරාත්මක චෝදනා එල්ල කිරීමෙන් අත්වන මහජන සුබසිද්ධියක් නැතැයි ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අවධාරණය කරයි.
කරුණුමය නිරවද්‍යතාව අත්‍යවශ්‍ය කරුණක් ලෙස සලකන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මෙහිදී මාධ්‍යවේදියා අතින් එවැනි යම් වරදක් සිදුව තිබේ නම් වඩා සාධනීය ආකාරයකින් ඊට මැදිහත් වීමේ හැකියාවක් රජයට තිබුණේ යැයි විශ්වාස කරන බව ද පවසයි.
එසේ වුවද දුෂ්කර ජනජීවිත ගැන වාර්තා කරන ස්වල්පදෙනා මෙවැනි බාධා කිරීම් නොතකා තම සමාජ වගකීම ඉටු කරන අතර වෘත්තීය ගුණාත්මකභාවයද වැඩි දියුණු කර ගනිමින් ඉදිරියට යනු ඇතැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විශ්වාසය පළ කරන්නේ යැයි ද ඔවුන්ට ධෛර්ය පතන්නේ යැයි ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
මුරුංගා කොළ කතාවේදී රජයේ ප්‍රතිපත්තිය වැරදියි’
Recommended Articles