මුදු මාරුවකට කතක් මාට්ටු


(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

නව මුදුවක් මිලදී ගැනීමේ මුවාවෙන් පැමිණ රන් ආලේපිත යකඩ මුදුවකට රුපියල් ලක්ෂ දෙකහමාරක් වටිනා මුදුවක් මාරු කරගෙන ගිය කාන්තාවක අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලීසිය පවසයි.

මෙම කාන්තාව මීට පෙර දිවයින පුරා පිහිටි රන් ආභරණ අලෙවි මධ්‍යස්ථාන හතකින් මෙසේ රන් ආභරණ සොරා ගැනීමේ සිද්ධින් හතකට අදාළ අධිකරණයේ නඩු විභාග වන බව ද පැවසේ

සැකකාර කාන්තාව ඉකුත් 21 දා හෝමාගම නගරය ආසන්නයේ පිහිටි රන් ආභරණ අලෙවි මධ්‍යස්ථානයකට පැමිණ රුපියල් ලක්ෂ දෙකහමාරක් වටිනා රන් මුදුවක් මිලදී ගැනීම සඳහා කතා බහ කරගෙන තිබේ.

ඊට අදාල මුදල් පියවීමේදී තමා පැලඳ සිටින රුපියල් ලක්ෂයක් පමණ වටිනා බව පැවසෙන මුදුවක් සමග ඉතිරි මුදල් ගෙවීමට ද පොරොන්දු වී තිබුණි.

ඒ අතරතුරදී සැකකාර කාන්තාව විවිධ මාදිලියේ මුදු පරික්ෂා කර ඇති අතර ඇතැම් මුදු තම ඇඟිලි වලට පවා දමා පරීක්ෂා කරමින් සිටියදී එක්වරම ඇය පැළඳ සිටි මුදුව ගලවා නව මුදුවක් ඇඟිල්ලට දමාගෙන නව මුදුවෙහි තිබූ මුද්‍රිත ලේබලය කිසිවකුටත් නොදැනෙන සේ පරණ මුදුවෙහි අලවා රුපියල් 500 ක අත්තිකාරම් මුදලක් ද දී බැංකුවෙන් මුදල් ලබාගෙන එන බව පවසා පිටව ගොස් තිබුණි.

එහෙත් ඇය අත්තිකාරම් මුදලට අදාළ රිසිට් පතක් හෝ නොගෙන පිටව යාම පිළිබදව ආයතනයේ හිමිකරුට සැකසිතී ඇය පරික්ෂා කරමින් තිබූ මුදු තොගය නැවත පරික්ෂා කිරීමේදී ඒ තුළ යකඩින් නිමවූ රන් ආලේපිත මුදුවක් තිබී හමුවී තිබේ.