
(අංජුල මහික වීරරත්න)
ගංවතුර ආපදාවෙන් ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා ධීවර බෝට්ටු යොමු කරන ලෙස ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන්නේය.
ආපදා තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා ධීවර ක්ෂේත්‍රයේ දායකත්වය සම්බන්ධීකරණය කිරීමේ අරමුණින් පැවති සාකච්ඡාවකදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කීය.
මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවති මෙම හමුව සඳහා ධීවර අමාත්‍යාංශ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස, ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහත්වරු සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ නියෝජිතයෝ සහභාගී වූහ.
අවිස්සාවේල්ල, හලාවත සහ කෑගල්ල වැනි ගංවතුරෙන් දැඩි ලෙස පීඩාවට පත් ප්‍රදේශවල මුදාගැනීමේ මෙහෙයුම් සඳහා පවතින බෝට්ටු හිඟය පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු විය.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් (DMC) ඉල්ලීමක් කළ විගස, අවශ්‍ය බෝට්ටු ලබා දෙන ලෙස දිස්ත්‍රික් ධීවර සහකාර අධ්‍යක්ෂවරුන්ට උපදෙස් ලබා දුන් බවත් ශ්‍රී ලංකා නාවික හමුදාව එම බෝට්ටු ප්‍රවාහනය සහ මෙහෙයවීම සම්බන්ධීකරණය කර, වේගවත් සහ සංවිධානාත්මක මුදාගැනීමේ මෙහෙයුමක් සහතික කරනු ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම තීරණයෙන් අනතුරුව ජාතික මුදාගැනීමේ මෙහෙයුමට සහය වීම සඳහා කොළඹින් බෝට්ටු 30ක්, මීගමුවෙන් 20ක් සහ අලුත්ගමින් 20ක් පිටත් කර හැරීමට ධීවර දෙපාර්තමේන්තුව මේ වන විටත් කටයුතු යොදා ඇතැයි ධීවර අමාත්‍යංශය කියයි.

