
(නිමල කොඩිතුවක්කු)
කැලණිය විශ්වවිද්‍යාලය අසළ සාමකාමී උද්ඝෝෂණයක නිතරව සිටිය දී අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ මහතාගේ සුවදුක් විමසීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රාගම රෝහලට පැමිණියේය.
එහිදී විපක්ෂනායකවරයා වසන්ත මුදලිගේ මහතා මුනගැසී ඔහුගේ තත්වය සම්බන්ධයෙන් විමසා බලනු ලැබීය.
මෙම අවස්ථාව සඳහා සමගි ජනබලවේගයේ නියෝජ්‍ය භාන්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා ඇතුලු පිරිසක්ද එක්ව සිටියහ.
භාෂණයේ ප්‍රකාශනයේ හා අදහස් පළ කිරීමේ නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවෙන් සනාථ කර ඇත බැවින් සාමකාමීව උද්ඝෝෂණය කිරීමට හැකි අවස්ථාවක රජය නිරතුරුවම ජනතාවගේ මූලික අයිතිය සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය කෙලසන තත්ත්වයකට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා එහිදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පැවසීය.
මෙරට ජනතාවට සිය ප්‍රජාතන්ත්‍රීය අයිතිය භාවිත කිරීමේ නිදහස පැවැතිය යුතු බවත් එය රජය අහෝසි කිරීම විපක්ෂයක් ලෙස තරයේ ප්‍රතික්ෂේප කරන බවත් විපක්ෂ නායකවරයා එහිදී කීවේය.
මැතිවරණය වළක්වා ඒකාධිපති පාලනයක් ගෙන යමින් ජනතාවගේ මූලික අයිතින් පවා උල්ලංඝනය කරන ආණ්ඩුව සමග කිසිදිනක තමාට හෝ තම පක්ෂයේ කිසිවකුටත් සම්බන්ධයක් නොමැති බවත් ජනතා විරෝධී ආණ්ඩුව සමග කිසිදින එක් නොවන බවත් විපක්ෂ නායකවරයා එහි දී තවදුරටත් පැවසීය.

