මුදල් අමාත්‍යාංශ කියන කියන විදිහට වැඩ කරන්නේ නෑ - ඛණිජ තෙල් ඇමති චන්දිම


(හර්ෂණ තුෂාර සිල්වා)
 
කිසිම ආකාරයකින් ඛනිජ තෙල් සංස්ථාව පෞද්ගලීකරණය කිරීමට ඉඩ නොදෙන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසයි.
 
මුදල් අමාත්‍යවරයා හෝ මුදල් අමාත්‍යාංශය යෝජනා දුන් පමණින් ඒවා ඉටු නොකරන බවත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් තමා රටට හිතකර තීරණ පමණක් ගන්නා බවත් ඒ මහතා කියයි. 

රටේ ප්‍රධාන ව්‍යාපාරික ආයතනවල කාර්ය සාධනය මැන බැලීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සමඟ එකඟතාවකට පිවිසුණු බවත් එය මුදල් අමාත්‍යාංශයේ යෝජනා ඉටු කරන ගිවිසුමක් නොවන බවත් අමාත්‍යවරයා පවසයි.
 
“අමාත්‍යාංශ හා ආයතන පිළිබඳ සොයාබලන්න මුදල් අමාත්‍යාංශයට හැකියාවක් තිබෙනවා. එහෙත් යෝජනා ඉටු කිරීමේ ගිවිසුමකට අපි අත්සන් තැබුවේ නැහැ. මමයි මේකේ ඇමැතිවරයා. මේ අමාත්‍යාංශයේ තීරණ ගන්නේ මමයි.ඛනිජ තෙල් මිල තීරණය කරන්නේ මමවත් මුදල් ඇමැතිවරයාවත් නෙමෙයි. අපි දෙන්නෙක් ගහ ගත්තා කියලා ඛනිජ තෙල් මිල තීරණය කරන්න බැහැ. එවැනි තීරණ ගන්නේ රට වශයෙන් ආණ්ඩුව. මුදල් ඇමැතිවරයා කරන්නේ ඔහුගේ කාර්යභාරය. මම කරන්නේ මගේ කාර්යභාරය” යැයි ද ඒ මහතා ප්‍රකාශ කරයි.
 
කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී බ්‍රහස්පතින්දා (23)පැවැති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා මේ බව කීවේය.