මුදලට පක්ෂ මාරු කළේ නෑ - වඩිවෙල් සුරේෂ්


නාලක සංජීව දහනායක
 
මුදලට පක්‍ෂ මාරුකළ බවට තමන්ට චෝදනා කරන පුද්ගලයන්ට එරෙහිව ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බව වැවිලිකර්මාන්ත රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතා අද (6) පැවසීය.
 
තමන් කිසිදිනක මුදලට පක්‍ෂ මාරුනොකළ බවත් වතුකම්කරුවන්ගේ ප‍්‍රශ්න විසඳීම සඳහා නව රජයේ අමාත්‍යධූරයක් බාරගැනීමට තීරණය කළ බවත් ඔහු කීය.
 
අමාත්‍යවරයා මෙසේද පැවසීය.
 
‘‘මම සල්ලි අරගෙන  පැති මාරුකළේ නැහැ. මම සල්ලිවලට පිල් මාරු කළා කියලා චෝදනා කරන අයට විරුද්ධව ඉදිරියේදී නීතිමය පියවර ගන්නවා. මම මේ රටට ආදරෙයි. කවුරු මොනව කිවුවත් බදුල්ලේ ජනතාව මම ගැන දන්නවා.
 
අවුරුදු 200ක් වතුකරයේ ජනතාව මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න වෙහෙසුනා. නමුත් ඒ අයට වුණ සෙතක් නැහැ. නමුත් තමන්ගේ අයිතිවාසිකම් දිනාගන්න කම්කරු ජනතාව කවදාවත් අයුධ අතට ගත්තේ නැහැ. වතුකම්කරුවන්ගේ ප‍්‍රශ්නය හා උතුරේ ජනතාවගේ ප‍්‍රශ්න එකිනෙකට වෙනස්. අපේ ජනතාවට තිබෙන්නේ ඒ අයගේ ශ‍්‍රමයට සරිලන වැටුපක් නොලැබීම, යටිතල පහසුකම් වැඩි දියුණු නොවීම වගේ ප‍්‍රශ්න. ඒවා විසඳන්න  ඕන. වතුජනතාවට සේවයක් කරන්න මම මේ ඇමතිකම ගත්තා.
 
මම අවුරුදු තුනහමාරක් මේ ආණ්ඩුවේ හිටියා. කිසිම වැඩක් නොකර මම නිකම්ම කාලකන්ණි වුණා. පහුගිය ආණ්ඩුවේ තිබුනේ කතන්දර විතරයි. කරපු කිසිම වැඩක් නැහැ. වතුකම්කරුවන්ගේ ප‍්‍රශ්න ගැන මම පාර්ලිමේන්තුවේ කතාකළා. නමුත් වැඩක් වුනේ නැහැ. වතුකරයේ ජනතාවගේ ප‍්‍රශ්න විසඳන්න මන්ත‍්‍රී කෙනෙක් විදයට ඉඳලා බැහැ. ඒ ප‍්‍රශ්න විසඳන්න ඇමතිකමක් තිබිය යුතුයි. ‘‘
 
කොළඹ, මල් පාරේ පිහිටි අග‍්‍රාමාත්‍ය කාර්යාලයේදී අද (6) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.