මුතුහෙට්ටිගම උසාවියට අපහාස කළාදැයි වාර්තාවක් ඉල්ලයි


පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වඳුරඹ වේදිකාවකට ගිනි තැබීයැයි සැකපිට අත්අඩංගුවට ගත් තිදෙනෙක් බද්දේගම මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා විසින් ලබන 29 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.

එලෙස රිමාන්ඩ් කැරුණේ වෘත්තීය පුහුණු අධිකාරියේ රියදුරකු වන එ්. එම් ජනක දුමින්ද (36), ධීවර සංස්ථාවේ සේවකයකු වන කේ ජී ජානක කුමාර (38) සහ එස් ඒ දිමුතු ප්‍රදීප් (30) යන සැකකරුවෝ ය.

සැකකරුවන් රිමාන්ඩ් කළහොත් තමා ද රිමාන්ඩ් වන බවට නියෝජ්‍ය ඇමාත්‍ය මුතුහෙට්ටිගම මහතා කළැයි කියන ප්‍රකාශයෙන් අධිකරණයට අපහාසයක් වනවාදැයි සොයා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත් නියෝග කළේය.

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නීතීඥවරු 25 දෙනකු පෙනී සිටියහ. මුතුහෙට්ටිගම මහතා මාධ්‍යයට කළැයි කියන ප්‍රකාශයකින් උසාවියට අපහාස වූ බව නීතීඥවරු අධිකරණයට දැන්වූහ.

වේදිකාව ගිනි තබන අයුරු වීඩියෝ පටයක සටහන් වී තිබුණ ද එය අපහැදිලි බව පොලිසිය අධිකරණයට දැන්වීය.