( හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ශ්‍රී ලංකාවේ සුවිශේෂම පරිසර පද්ධතියක් වන මුතුරාජවෙල අක්කර 100 ක භූමි ප්‍රදේශයක් යොදාගනිමින් ස්වාභාවික වායු බලාගාරයක් ඉදිකිරීමට විදුලිබල අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සැරසෙන බව ‘වැසි වනාන්තර සුරකින්නෝ’ පරිසර සංවිධානයේ කැඳවුම්කරු ජයන්ත විජේසිංහ මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ ආණමඩුව තානායමේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. ජෛව විවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවයේ ලේකම් අමිල විතානගේ මහතා ද මෙයට එක්ව සිටියේය.
මෙහිදි අදහස් දැක්වූ ජයන්ත විජේසිංහ මහතා,
“ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය ඉන්දියාවේ එන්.ටී.පී.සී. සමාගම සමඟ එක්ව ඉදිකිරීමට සූදානම් වන ස්වාභාවික වායු බලාගාරයකට අක්කර 100 ක භූමියක් වෙන් කරන්නයි කියා අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ඇමතිතුමා පසුගිය 18 වෙනිදා කැබිනට් හමුවේදි යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.
මේ කරන්න හදන්නේ කොළඹ ඇති වටිනාමින් වැඩි තෙත් භූමියකින් අක්කර 100 ක් ස්වාභාවික වායු බලාගාරයකට නිදහස් කරගන්න හදන එක. රහසේ කැබිනට් මණ්ඩලය මගින් අදාළ ආයතනවලට මේ ඉඩම් මුදා හැරීමට අවශ්‍ය නෛතික පසුබිම සකසා දෙන්නයි කියලා නියෝග දෙනවා. මාධ්‍යයෙනුත් ජනතාවගෙනුත් සඟවා මෙය නිදහස් කරන්නැයි කියලා ගැසට්ටුවක් මගින් ප්‍රකාශ කරන්න යනවා.
මුතු රාජවෙල කියන්නේ ක්‍රිස්තු පුර්ව 500 ටත් පෙර පටන් තෙත් භූමියක් ලෙස පැවතුණ හෙක්ටයාර 6032 කින් සමන්විත සම්පුර්ණ තෙත් භුමියක්. මෙය කැලණි ගංගා සීමාවේ සිට හැමිල්ටන් ඇළේ පටන් මීගමුව කලපුව දක්වා අති විශාල භූමි භාගයක් ඔස්සේ පැතිර පවතින ප්‍රදේශයක්. එසේම ශ්‍රී ලංකාවේ තෙත් භූමි අතර මූලික සහ සුවිශේෂම කලාපයක්.
මේ භූමියෙන් කාලයක් තිස්සේ නොයෙක් කටයුතුවලට ඉඩම් වෙන් කළා. අවසානයේ 1996 දී අති විශේෂ 47 / 13 නම් ගැසට්ටුවෙන් මෙය අභය භූමියක් ලෙසට නම් කරනවා. එලෙසින් නම් කරන්නේ අක්කර 1777 ක් පමණයි. අක්කර 6032 ක් වූ මෙම භූමියෙන් යම් කිසි ආරක්ෂාවක් ලැබෙන්නේ මේ කියන අක්කර 1777ට පමණයි.
අපි දන්නවා ලංකාවේ අභය භූමිවලට ලැබෙන ආරක්ෂාව එතරම් ප්‍රමාණවත් නැති බව. මේ අභයභූමිය ශාක හා රුක්ෂලතා පනත යටතේ නම් කිරීමෙන් පසුවත් නොයෙක් ආකාරයේ හානිදායක ක්‍රියාකාරකම් සිදුවෙමින් තිබෙනවා.
මුතුරාජවෙල කොළඹ පිහිටි ආයෝජන මණ්ඩල කලාප , ආයෝජන සිදුවන කලාප , ගුවන් තොටුපල , වරාය ආදිය සහිත ප්‍රධාන නගරය තුළ පිහිටීමේ වාණිජ වැදගත්කම විශාලයි.
ඒ නිසා දේශපාලනඥයෝ ඇහැ ගහගෙන ඉන්නවා මුතුරාජවෙල භූමියට. මොකද මේ භූමියේ හෙක්ටයාර් එකක වටිනාකම ඉහළ මට්ටමකයි තිබෙන්නේ. දේශපාලනඥයින් තම ජනතාවට, සහචරයින්ට, නෑදැයින්ට බෙදා දෙන මුවාවෙන් ඉඩම් තමන්ට ලබාගැනීමේ විශාල කටයුත්තක නිතර වෙමින් සිටිනවා.”
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ජයන්ත විජේසිංහ මහතා,
“මේ වන විට දේශපාලනඥයින් තමන්ට මුදල් හා කොමිස් ලැබෙන කොම්පැනිවලට මේ වටිනා භූමිය ලබාදෙමින් සිටිනවා.
අද වනවිට විවිධ ව්‍යාපෘති වලට, කර්මාන්ත ශාලාවලට, මුතුරාවෙළින් ඉඩම් ලබා දී තිබෙනවා. එසේම නිවාස ව්‍යාපෘති සඳහා 2002 සිට ඔවුන් පොර බදමින් සිටිනවා.
අපි දැක්කා බෝපිටිය ප්‍රදේශයේ නිවාස ව්‍යාපෘතියකට කියලා එළිකරමින් තිබුණ භූමියකට 2018 මාර්තු 22 දින ජනාධිපතිවරයා ගිහින් එම භූමිය ආරක්ෂා කරන්න උවමනා බව පවසා මාධ්‍ය මගින් විශාල ප්‍රකාශ පවා ලබා දෙනවා.
දැන් ජනාධිපතිතුමා කියූ වචන, වචන වලට පමණක් සීමා කර තිබෙනවා . එසේම මේ ප්‍රදේශය ගැන අයි .යු. සි.එන්. ආයතනය කරපු අධ්‍යනයකින් මෙහි සත්ත්ව විශේෂ 209ක්, ශාඛ විශේෂ 194 ක්, මත්ස්‍ය වර්ග 40 ක්, උභයජීවී විශේෂ 14 ක්, උරග විශේෂ 31 ක්, කුරුළු විශේෂ 102 ක් හා සමනල් විශේෂ 48 ක් සිටින බව තහවුරු වී තිබෙනවා.
අපි කියනවා මේ ස්වාභාවික වායු බලාගාර පනත වහාම හකුලා ගන්න කියා. නැත්නම් අපි ඒ සඳහා මැදිහත් වෙනවා” යැයි පැවසීය.