කොළොන්නාව, මීතොටමුල්ල කුණු කන්ද සඳහා තවත් අක්කර තුන හමාරක් ලබාගැනීමට කොළඹ නගර සභාව උත්සාහ කරන බව කියමින් අවට පදිංචිකරුවෝ මීතොටමුල්ල කුණු කන්ද අසල අද (27) උද්ඝෝෂණයක් පැවැත්වූහ.
උද්ඝෝෂකයෝ පාගමනින් වැල්ලම්පිටිය හා කොළොන්නාව නගර මැදින් ගොස් කුණු කන්ද අසලට පැමිණි අඛණ්ඩ උපවාසයක් ඇරඹූහ.
එයට ඇතුළුවන මාර්ගය අවහිර කරමින් උපවාස කිරීම හේතුවෙන් කුණු ලොරි පැමිණීමද නැවතී තිබූ අතර කොළඹ නගර සභාවේ නාගරික කොමසාරිස් වී.කේ.ඒ.අනුර මහතා ඇතුළු නගර සභා නිලධාරීන් පැමිණ කුණු කන්ද ඉවත් කිරීමට මාස 6ක කාලයක් ලබාදෙන ලෙස උද්ඝෝෂකයන්ගෙන් ඉල්ලා සිටියද ඔවුහු ඊට එකඟ නොවූහ.
මේ සඳහා තවත් ඉඩම් පවරා නොගන්නා බවට ලිඛිත පොරොන්දුවක් ලැබෙන තෙක් එම ස්ථානයෙන් ඉවත්නොවන බව කොළොන්නාව කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ සභාපති නීතිඥ නුවන් බෝපගේ මහතා පැවසීය.




