එවකට මිහින්තලයේ රජමහා විහාරාධිකාරී වු වත්මන් විහාරාධිපති වලවාහැංගුණුවැවේ ධම්මරතන නා හිමියන්ද මිහින්තලේ සීලරතන සාමනේර හිමියන්ද මිහින්තලේ හිටපු පොලිස් ස්ථානාධිපති විසින් නීතී විරෝධි ලෙස අත්අඩංගුවට ගනු ලැබීමෙන් එම දෙනමගේ මුලික අයිවාසිකම් කඩ වී ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.
ඒ අනුව ධම්මරතන හිමියනට හා සීලරතන හිමියනට රුපියල් විසිපන්දාහ බැගින් වන්දි ගෙවන ලෙස මිහින්තලයේ හිටපු පොලිස් පරික්ෂක ඊ එම් සංජීව මහානාමට ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රි පුද්ගල විනිසුරු මණ්ඩලයක් නියෝග කළේය.
සලීම් මර්ෂුක් ,චන්ද්‍රා ඒකනායක හා ප්‍රියශාත් ඩෙප් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්කාරවරු හමුවේ පෙත්සම විභාග විය.
2009 මාර්තු දොළොස්වැනිදා මිහින්තලයේ රජමහා විහාරයට කම්පුචියාවෙන් පැමිණි සියයක් පමණ වන්දනාකරුවන්ගේ ගමන් මලු ,මැද මළුවේ තබා තිබියදී , දෙවැනි වග උත්තරකාර චන්දන වීරරත්න වඩුගේ සහ සුසන්ත කපිලරත්න අතපත ගාමින් සිටියදී සීලරතන සාමනේර හිමියන් හා ඔවුන් අතර ඇති වු ප්‍රශ්නයක් සම්බන්ධයෙන් තමා ද සමනේර හිමියන්ද අත්අඩංගුවට ගැනීමෙන් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් සර්ව සාධාරණත්වයේ අයිතිවාසිකම් අහිමි කළැයිද අත්තනෝමතිකව සිර බාරයට ගැනීමෙන් හා රඳවා තබා ගැනීමෙන් තම අයිතිවාසිකම් උල්ලංඝනය කළැයිද ,එම හිමිවරු සිය පෙත්සමෙන් කියා සිටියහ.
මිහින්තලයේ පොලිස් ස්ථානාධිපති ඊ එම් සංජීව මහානාම,මිහින්තලේ මහනුවර පාරේ චන්දන වීරරත්න වඩුගේ , පොලිස්පති හා නීතීපතිද පෙත්සමේ වග උත්තරකරුවෝය.
ශ්‍රි ලංකා මානවහිමිකම් කොමිෂන් සභාව මේ ගැන පරික්ෂණයක් පවත්වා මිහින්තලයේ හිටපු පොලිස් ස්ථානාධිපති මහානාම වැරදිකරු කරමින් ධම්මරතන නා හිමියනට රුපියල් දසදහසක වන්දි ගෙවන ලෙස නියෝග කැර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන්වේ.

