මිලියන 16 ක මත්පෙති සිලාවතුරේ කැලෑවක


( රොමේෂ් මධුෂංඛ)

මන්නාරම සිලාවතුර ප්‍රදේශයේ පිහිටි කැලෑබද ප්‍රදේශයකින් රුපියල් මිලියන 16 කට අධික මත්පෙති 111,000 ක් සොයාගත් බවට මන්නාරම පොලිස් කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය පවසයි.

මන්නාරම යුදහමුදා බුද්ධි අංශයට ලැබුණ තොරතුරකට අනුව එහි නිලධාරීන් විසින් මන්නාරම කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයට මේ බව දැනුම් දී ඇත.

අනතුරුව එහි පොලිස් නිලධාරීන් පිරිසක සහ යුදහමුදා නිලධාරීන් එක්ව ශිලාවතුර ප්‍රදේශයේ කැලෑ ප්‍රදේශක සිදුකරන ලද සෝදිසියකදී සඟවා තිබූ මෙම මත්පෙති තොගය සොයාගනු ලැබීය.

එහිදී විශාල උර දෙකක් තුළ අසුරා තිබූ ප්‍රිගැබ්ලින් වර්ගයේ නීතිවිරෝධී මත්පෙති තොගය සොයාගනු ලැබීය.

මෙම මත්පෙති තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙනවිත් ශිලාවතුර ප්‍රදේශයේ කැලෑවක සඟවා පසුව වෙනත් ප්‍රදේශයකට රැගෙන යාමට ජාවාරම් කරුවන් සැලසුම් කොට ඇති බවට සැක පල කරන අතරම අදාල මත්පෙති ගෙන්වූ අය කව්රුන්දැයි යන්න මෙතෙක් අනාවරනය වී නොමැති බවටද පොලීසිය පැවසීය.

සොයාගත් මත්පෙති තොගය මන්නාරම කොට්ඨාශ අපරාධ විමර්ශන නිලධාරීන් විසින් භාරගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ කටයුතු සිදුකරයි.