
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මිල්ලනිය සහ මොරන්තුඩුව පොලිස් ස්ථානවලට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් එම පොලිස් ස්ථාන දෙක තාවකාලිකව වසා දැමූ බව පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සංජය ඉරසිංහ මහතා පැවසීය.
පොලිස් ස්ථානාධිපතිවරුන් දෙදෙනා ඇතුළු පොලිස් නිලධාරීන් 100 ආසන්න ප්‍රමාණයක් නිරෝධායනට ලක් කළ බව ද ඒ මහතා කීය.
කොස්තාපල්වරුන් දෙදෙනාම පානදුර බුද්ධි කොට්ඨාසයට අනුක්ත ව සේවය කරන අතර මීට දෙදිනකට පෙර සිදුකළ පී සී ආර් පරීක්ෂණවලින් අනතුරුව ඔවුන් දෙදෙනාට වයිරසය ආසාදිත වී ඇති බවට වෛද්‍ය වාර්තාවලින් අනාවරණය වී තිබූ බව පොලිස් අධිකාරිවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම කොස්තාපල්වරුන් දෙදෙනා, මීට පෙර ආසාදිත තත්ත්වයට පත්වූ පානදුර කොට්ඨාස බුද්ධි අංශයේ පොලිස් සැරයන්වරයකු සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු සමඟ වාහන ජාවාරමක තොරතුරු අනාවරණය කරගැනීමට ගොස් තිබියදී මෙම වයිරසය ආසාදිත වී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවැසීය.

