මිල වැඩි වුණාට වැඩක් නෑ : වැස්සෙන් තේ දල්ලට අරියාදු


අමු තේ දලූ අස්වැන්න අඩුවීමෙන් රත්නපුර දිස්ත‍්‍රික්කයේ කුඩා තේවතු හිමියෝ ද තේ කර්මාන්තශාලා හිමියෝ ද අපහසුතාවකට පත්ව සිටිති.

අමු  දලූ කිලෝවකට ගෙවන මිල ඉහළ ගිය ද අස්වැන්න විශාල ලෙස අඩුවීම නිසා සැළකිය යුතු ආදායමක් ලැබිය නොහැකි බව කුඩා තේවතු හිමියෝ කියති. අක්කරයකින් මසකට අමු තේ දලු කිලෝ  600-1000ත් අතර ප‍්‍රමාණයක් නෙළා ගත්ත ද අක්කරයකින් නෙළිය හැකි අමු දලූ ප‍්‍රමාණය කිලෝ හාරසීයකටත් අඩු ප‍්‍රමාණයක් දක්වා පහළ බැස ඇති බව තේවතු හිමියෝ පවසති.

දලූ අස්වනු පහළයාම නිසා දෛනිකව එකතු කරන අමු තේ දලූ ප‍්‍රමාණය පහළ බැසීමෙන් දෛනික ඇඹරීමට අවශ්‍ය  ප‍්‍රමාණයට අමු තේ දලූ සපයාගත නොහැකි බව තේ කම්හල් හිමියෝ පවසති.

 අමු  තේ දලූ නිෂ්පාදනය පහළ යාමට හේතු අයහපත් කාලගුණ තත්ත්වය බව මේ දෙපාර්ශවයම කියයි. වරින්වර වැසි වැටුණ ද තේ දලූ අස්වැන්න ඉහළ යන්නට තරම් එම වැසි ප‍්‍රමාණවත් නොවන බව ද කියති.