මිනීමරුවා කවුදැයි ගම්පහ නිලධාරීහු අසති


අත්තනගල්ල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී කළ චෝදනාව අනුව ගම්පහ කලාප අධ්‍යාපන කාර්යාලයයේ නිලධාරීන් ගියේ කුමන මිනීමරුවකුගේ නිවසකටදැයි හෙළි කරන ලෙස දන්වමින් ගම්පහ කළාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස් කේ මල්ලවආරච්චි මහතා ඛනිජ තෙල් ඇමති සරණ ගුණවර්ධන මහතාට ලිපියක් යවා ඇත.

අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම්, ගම්පහ දිස්ත්‍රික් ලේකම් සහ පළාත් අධ්‍යාපන ලේකම්ටද එම ලිපියේ පිටපත් යවා ඇතැයි කලාප අධ්‍යාපන කාර්යාලයයේ ආරංචි කියයි.

පසුගිය සදුදා පැවැති අත්තනගල්ල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන මහතා පැවසුවේ ගම්පහ අධ්‍යාපන කාර්යාලයයේ නිලධාරීන් තිදෙනකු මිනීමරුවකුගේ නිවසට ගොස් ඇති බවයි.

එය මාධ්‍ය මගින් වාර්තා කිරීමත් සමග ගම්පහ අධ්‍යාපන කාර්යාලයයේ නිලධාරීන් නිවසට ගිය මිනීමරුවා හෙළි කරන්නැයි කියමින් ගම්පහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස් කේ මල්ලවආරච්චි මහතා නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන මහතාට එම ලිපිය යවා ඇත.

ගම්පහ කලාපයෙන් කරන කොහොඹාකංකාරිය ශාන්ති කර්මයක් පැවැත්වීමට නියමිත බවත්, ඊට සහයෝගය දැක්වීමට කැමැති ව්‍යාපාරිකයන් කිහිප දෙනකුගේ නිවසට තමා ගිය බවත්, නමුත් මිනීමරුවකුගේ නිවසකට තමා නොගිය බවත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ යැවූ ලිපියේ සඳහන්ය.

අධ්‍යාපන කාර්යාලයයේ නිලධාරීන් මිනීමරුවකුගේ නිවසකට ගියේ නම් ඒ මිනීමරුවා හෙළි කරන ලෙස දන්වා ඇති කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එය තමාගේ ඉදිරි කටයුතු පහසු කිරීමට හේතු වනු ඇතැයි ද සඳහන් කර ඇත.

මේ ගැන කළ විමසීමකදී ඛණිතතෙල් සංවර්ධන ඇමැති සරණ ගුණවර්ධන මහතා පැවසුවේ තමා මේ දිනවල පාර්ලිමේන්තු රැස්වීමවල සහභාගී වන බැවින් එවැනි ලිපියක් නොලැබුණු බවයි. කලාප අධ්‍යාපන අධ්‍යක්ෂගේ ලිපිය ලද වහාම මිනීමරුවා කවුදැයි ඔහුගේ මුහුණටම කියන බවත්, මිනීමරුවා ගැන තොරතුරු හෙළි කරන බවත් නියෝජ්‍ය ඇමැතිවරයා පැවසීය.