මිනිස් ජාවාරමක් මලයාසියාවේදී හසුවෙයි


ව්‍යාපාරික ස්ථානවල සහ වෙනත් ස්ථානවල රැකියා ලබාදෙන බව පවසමින් දකුණු ආසියාවේ  පුද්ගලයින් මැලේසියාවට රැගෙන ඒමේ මිනිස් ජාවාරමක නිරත වී සිටි ශ්‍රී ලාංකිකයකු සහ  ඉන්දීය ජාතිකයින්ගෙන් යුතු ජාවාරම් කල්ලියක් මලයාසියාවේ දී එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන  ඇතැයි  එරට ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග පවසයි.

ක්වාලාලම්පූර් පොලීසිය ස්ථාන තුනකදී සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන්  අත්අඩංගුවට ගෙන ඇති අතර  අදාළ වැටලීමේ දී ශ්‍රී ලාංකිකයින් ඇතුළු ඉන්දීය ජාතිකයින් අට දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව තානාපති ආරංචි පවසයි. තිස් දෙහැවිරිදි ලාංකිකයකු මෙම ජාවාරම් කණ්ඩායමේ නායකත්වය ගෙන ඇති අතර ඔහුට ඉන්දීය කාන්තාවක් සහාය දක්වා ඇතැයිද සඳහන්ය.

වැටලීම සිදුකරන අවස්ථාවේ දී  සැකකරුවන් භාරයේ සිටි මැලේසියාවට නීතිවිරෝධී ලෙසින් ගෙන්වූ තවත් පුද්ගලයින් 35 දෙනකු ක්වාලාලම්පූර් පොලීසිය විසින් සිය භාරයට ගෙන ඇත. ඒ අතර තවත් ශ්‍රී ලාංකිකයින් පස් දෙනකු සහ ඉන්දීය ජාතිකයින් 35 දෙනකුද වන බව සඳහන්ය.

මොවුන්ට ගෘහසේවිකාවන් ,ව්‍යාපාරික ස්ථානවල වෙළඳ සහාකයින් ,එරට වැවිලි ආශ්‍රිත ක්ෂේත්‍රයේ සහ වෙනත් ස්ථානවල රැකියා ලබාදෙන බව පවසමින් මීට මාස අටකට පෙර මැලේසියාවට  ගෙන්වාගෙන ඇති අතර ඔවුන්ට එම ජාවාරම්කරුවන් විසින් රැකියා ලබා දී නොමැති බව පොලීසිය සිදුකළ පරීක්ෂණවල දී හෙළි වී ඇතැයි මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලීය ආරංචි  පවසයි.

ඒ අනුව ඔවුන් ඉකුත් මාස අටක කාලය පුරා ක්වාලාලම්පූර් අගනුවරට ආසන්න ප්‍රදේශ වල පිහිටි මහල් නිවාසවල තුළ දීර්ඝ කාලයක් රඳවා තබාගෙන ලිංගික ජාවාරම් සඳහා යොදවන බවට ද තොරතුරු අනාවරණය කරගෙන ඇත.