මිනිරන් පතුරෙන් අණුවක් වෙන් කරයි


ඉලෙක්ට්‍රෝනික උපාංග නිපදවීම සඳහා ඉතා අත්‍යවශ්‍ය මූල ද්‍රව්‍යක් වන ග්‍රැෆීන් නම් ස්ථරය මිනිරන් වලින් වෙන් කර ගැනීමට නැනෝ තාක්ෂණ ආයතනයේ විද්‍යාඥයන් සමත් වූ බව එහි විද්‍යා අංශයේ ප්‍රධානී කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කේ එම් නලීන් ද සිල්වා කියයි.

පරමාණු ප්‍රකෝටි ගණනකින් සමන්විත මිනිරන් කැබැල්ලකින් ග්‍රැෆීන් යනු එක් අණුවක් ඝනකම ඇති කාබන් ස්ථරයකි. නැනෝ විද්‍යාඥයන් විසින් වෙන් කැර ගැනුණේ එක් ස්ථරයක් පමණි.

මෙම කාබන් ස්ථර ඉලෙක්ට්‍රෝනික උපාංග නිපදවීමට යොදා ගැනේ.

ශ්‍රී ලංකාවේ ඉතා පිරිසිදු මිනිරන් ඇති බවත්, එහෙත් අගය එකතු කිරීමකින් තොරව මිනිරන් කුණු කොල්ලයට අපනයනය කරන බවත් මහාචාර්යවරයා කියයි.

නැනෝ තාක්ෂණයෙන් මිනිරන් වලින් එවැනි කාබන් ස්ථර වෙන් කැර ගැනීමෙන් ලැබූ සාර්ථකත්වය අනුව අපේ මිනිරන්වලට පෙර නොවූ විරූ මිලක් විදෙස් වෙළෙඳ පොළෙන් උපයා ගත හැකි වෙතියි ද මහාචාර්යවරයා පවසයි.

මිනිරන්වලින් ලබා ගන්නා ග්‍රැෆීන් ස්ථර යොදාගෙන තුනී ජංගම දුරකතන, මිනිත්තුවකින් ආරෝපනය කළ හැකි බැටරි පමණක් නොව මුද්‍රණ හා පරිගණක කර්මාන්තයේ මහා විප්ලවයක් කළ හැකි බව එම කර්මාන්තයට සම්බන්ධ විශේෂඥයෝ පවසති.

ඉලෙක්ට්‍රෝනික් තාක්ෂණයෙන් නිපදවෙන අර්ධ සන්නායක කර්මාන්තයට ග්‍රැෆීන් අවශ්‍ය බවත්, 2015 සහ 2020 කාලයේ දී එම කර්මාන්තයේ ව්‍යාපාරික වර්ධනය සියයට 58 ඉක්මවන බවත් පර්යේෂකයෝ පවසති.

මෙම ග්‍රැෆීන් යොදා ගැනීම ඉතා නම්‍යශීලී හා ඉතා කුඩා එහෙත් ප්‍රබල උපාංග නිෂ්පාදනය කළ හැකි බවත් ඔවුහු කියති.

විදුලි සංදේශ, වෛද්‍ය හා ජීව වෛද, හමුදා සහ ආරක්ෂක, ඉදිකිරීම්, බලශක්ති, බැක්ටීරියා නාෂක,  අභ්‍යවකාෂ හා වාහන කර්මාන්ත වැනි අංශවල විද්‍යුත් උපකරණ නිෂ්පාදනයේ මූල ද්‍රව්‍යයක් ලෙස ග්‍රැෆීන් සැළකේ.