මිණිපුර කැරොකේ කෙල්ලන්ට ඇප


රත්නපුර සේනානායක මාවතේ, බලපත්‍ර රහිතව, නීති විරෝධිව  පවත්වාගෙන ගිය   කැරොකේ ශාලාවක  සමාජ විරෝධී අපචාර ක්‍රියාවල යෙදුණු  බව කියන කාන්තාවන් සිව් දෙනකු එක් අයකුට රුපියල් පනස් දහස බැගින් ශරීර ඇප මත මුදා හරින ලෙස රත්නපුර වැඩබලන මහේස්ත්‍රාත්  විශාඛා ලියනගේ මහත්මිය ඊයේ (29) නියෝග කළාය.

රත්නපුර කොට්ඨාස භාර පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා සහ කහවත්ත පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් එක්ව කැරොකේ සමාජ ශාලාව වටලා එහි කළමනාකරු සහ කාන්තාවෝ සිව්දෙනා අත්අඩංගුවට ගනු ලැබූහ.

කැරෝකේ සමාජ ශාලාවේ කළමනාකරු ඩී අනුර විජේවර්ධන පෙර නඩු දිනයේ රුපියල් පනස් දහසක ශරීර ඇප මත මුදා හැර තිබුණු අතර පොලීසියෙන් කළ ඉල්ලීම අනුව කාන්තාවන් සිව් දෙනා පිළිබඳ සමාජ රෝග වාර්තා කැඳැවීම සඳහා ඊයේ (29) දක්වා රිමාන්ඩ් කරනු ලැබ සිටියහ.

ඔවුනට සමාජ රෝග වැළැඳී නැතැයි රත්නපුර මහ රෝහලේ සමාජ රෝග ඒකකයේ වෛද්‍යවරුන් අධිකරණයට එවූ වාර්තාවේ දැක්වේ.

ඒ අනුව හම්බන්තොට, කුරුවිට, මැදවච්චිය සහ පිළියන්දල පදිංචි කාන්තාවන් සිව් දෙනා, එක් අයකුට රුපියල් පනස් දහස බැගින් ශරීර ඇප නියම කළ මහේස්ත්‍රාත්වරිය ඇපකරුවන් රත්නපුර අධිකරණ බල ප්‍රදේශයේ විය යුතු බවට කොන්දේසියක් ද පැනවූවාය.

නඩුව   ජූලි මස පළමු වැනි දින දක්වා කල් තැබුණු අතර එදින අධිකරණයේ පෙනී සිටින ලෙස සැකකරුවනට නියම කැරිණි.

නීතීඥ තුසිල් අබේරත්න මහතා ප්‍රධාන   නීතීඥවරු පිරිසක් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටියහ.

රත්නපුර කොට්ඨාස භාර පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතාගේ උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී ටී ටී ධනපාල මහතා සහ රත්නපුර පොලීසියේ නිලධාරීහු පැමිණිල්ල මෙහෙයවූහ.