මෑන්පවර් උප සභාපතිගේ යතුරුපැදිය පොලිසියේ


ටෙලිකොම් මෑන්පවර් සේවකයන්ගේ සංගමයේ උප සභාපති එම් එස් මංගල මහතා භාවිත කළ බව කියන යතුරුපැදිය පිළියන්දල සංස්කෘතික මධ්‍යස්ථානය අසල තිබී සොයා ගත් බව පිළියන්දල පොලිසිය කියයි.

එම යතුරුපැදිය පිළියන්දල පොලිසිය විසින් සොයා ගනු ලැබ ඇත්තේ මංගල මහතා අතුරුදන් වූ බවට පොලිසියට පැමිණිලි ලැබීමටත් පෙර බවත්, යතුරුපැදිය මංගල මහතාගේම බව තහවුරුකරගෙන ඇත්තේ ඊයේ (31) බවත් පොලිසිය පවසයි.

මංගල මහතා භාවිත කළ යතුරු පැදිය ඉඳිගහහේන පාරට හැරෙන තැන 29 වැනිදා උදේ නවතා තිබෙනු දුටු බවට පුද්ගලයකු කී තොරතුරක් අනුව මංගල මහතාගේ පුතා පෙරේදා (30)  එම ස්ථානයට ගොස් පරීක්ෂා කර බලා තිබිණි. අවට වැසියන් කියා ඇත්තේ අයිතිකරුවකු නැති යතුරු පැදියක් නවතා තිබෙනු දැක පිළියන්දල පොලිසියට දැන්වූ බවයි.  ඒ අනුව පිළියන්දල පොලිසියේ නිලධාරීන් පැමිණ යතුරුපැදිය පොලිසියට ගෙන ගිය බව ද අසල්වාසීන් කියා තිබේ. යතුරුපැදියට කුමක් සිදුවීදැයි සොයා බැලීමට පිළියන්දල පොලිසියට යද්දී යතුරු පැදිය එයි නවතා තිබී ඇති අතර එය තම පියා භාවිත කළ යතුරු පැදිය බව හඳුනාගෙන තිබේ.