මැලේසියා හමුදාවටත් තායිලන්තයටත් අතුරදන් වූ යානයේ රේඩාර් ලැබිලා


මැලේසියා ගුවන් යානය අතුරුදන්වූවායැයි පවසන වේලාවට විනාඩි අටකට පසු එනම් අලුයම 1.28ට හදුනානොගත් ගුවන් යානයක් තම රේඩාර් තිරයේ දිස්වූ බව තායිලන්තයේ රාජකීය ගුවන් හමුදාවේ එයාර් වයිස් මාෂල් මොන්ටොල් සුකුකොර්න් පවසයි.

මලක්කා සමුද්‍ර සන්ධිය අසළ පිහිටා ඇති මැලේසියාවේ නගරයක් වන බටර්වර්ත් දෙසට හරවමින් යානය ගමන් කළ බව එම රේඩාර් තිරයේ සටහන්ව ඇත. ඔහු වැඩිදුරටත් පවසන්නේ මෙවැනි රේඩාර් සංඥා බහුව ලැබෙන බවයි. එවැනි සංඥාවන්හි යානයේ අංකය වැනි කිසිම දත්තයක් අඩංගු නොවන බව ද හෙතෙම කීවේය.

මැලේසියා බලධාරීන් දැන් පවසන්නේ තම යුද හමුදා රේඩාර් තිරයේ පෙරවරු 2.14ට මලක්කා සමුද්‍ර සන්ධිය දෙසින් අතුරුදන්වූ වා යැයි සැක සිතිය හැකි යානයක් දිස්ව ඇති බවයි. මේ දත්ත මැලේසියා බලධාරින් ප්‍රකාශයට පත්කරන්නේ යානය අතුරුදන්ව සතියකට පසුවය.  

තායිලන්තයෙන් යානයට අදාල තොරතුරු ලබාදීමට මෙතරම් ප්‍රමාද වූයේ ඇයිද යන්න විදෙස් මාධ්‍යවේදීන් විමසූ විට මොන්ටොල් පවසා ඇත්තේ '' අප ඒ ගැන ඒ තරම් අවධානයක් යොමු කළේ නැහැ" යනුවෙනි.

'' අප විමසිලිමත් වන්නේ අප රටට යම් තර්ජනයක් ඇත්නම් පමණයි. මේ යානය තායිලන්තයේ ගුවන් සීමාවට ඇතුල් වූයේ නැහැ. ඒ නිසා අපට තර්ජනයක් නැති බව දැනගත්තා. මැලේසියාව කළ මුල් විමසීම්වලදී අප එතරම් උනන්දු නොවූයේ ඒ නිසා. නැවත නැවත විමසීම් කළ විට අප ඒ ගැන සොයා බැලුවා." යැයි එයාර් වයිස් මාෂල් මොන්ටොල් පවසා ඇත.

තායි බලධාරීන් පවසන්නේ දකුණු තායිලන්තයේ පිහිටි රේඩාර් උපකරණයකට යානය හසුවී ඇති බවයි. යානය උතුරු තායිලන්තය දෙසින් ගමන් කරන්නට ඇති බව මැලේසියානු බලධාරීන් පැවසුවත් උතුරු තායිලන්තයේ රේඩාර් උපකරණයට මෙවැනි සැකකටයුතු කිසිවක් හසුවී නැත.